පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලට සාධාරණයක් ඉෂ්ට කර දීම සඳහා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂයක මුදලක් සහ ලිංගික අල්ලසක් ඉල්ලා ලබා ගැනීමට උත්සාහ දැරු බව කියන වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපති ලබන 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය 10 වනදා නියෝග කළේය. මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපතිව සිටි පන්නල පදිංචි ප්රධාන පොලිස් පරීක්ෂක නාලින්ද උපුල් පතිරත්න මහතාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ හිටපු යුද හමුදා සාමාජිකාවක වන අතර,
ඇය විවාහයෙන් වෙන්වී සිටින්නියක බවත්, ඇයගේ අක්කර 07ක ඉඩමක් ස්වාමිපුරුෂයා විසින් විකුණනු ලැබීම හේතුවෙන් මෙම ආරවුල ආරම්භ වී ඇති බවත් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
පැමිණිලිකාරියගේ සැමියා ඉඩම් ආරවුල සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලට අදාළව පැමිණිලිකාරියට සාධාරණයක් කර දීමට නම් අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් සහ ලිංගික අල්ලසක් සැකකාර ස්ථානාධිපති විසින් ඉල්ලනු ලැබ ඇති බවත්, එයට අකමැති වීම මත අදාළ නඩුව සම්බන්ධයෙන් සැකකාරියට චෝදනා නගා අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි ද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු සඳහන් කළේය.
දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණි පැමිණිලිකාරිය අදාළ අල්ලස් මුදල රුපියල් ලක්ෂය දක්වා අඩු කරගෙන පසුව සැකකරු ඉල්ලූ ලිංගික අල්ලස ද ලබාදීමට එකඟ වී ඒ සම්බන්ධයෙන් තම කොමිසමට පැමිණිලි කළ බවත් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය . ඒ අනුව, කොමිසමේ උපාය දූතයන් යොදවා මෙම වැටලීම සිදුකළ බවත් එහිදී පුත්තලම ප්රදේශයේ හෝටල් කාමරයක සිටියදී ඉකුත් 28 වැනිදා මෙම ස්ථානාධිපති අත්අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
පසුව ඉකුත් 29 වැනිදා පුත්තලම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු 10 වනදා තෙක් රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නියම කර තිබූ බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ මඩුල්ල ඉල්ලා සිටියේ තම සේවාදායකයාගේ අසනීප තත්ත්වය හේතුවෙන් ඔහුට බන්ධනාගාර රෝහලේ පහසුකම් නොමැති බවත් ඒ හේතුවෙන් ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙසය. ඒ අනුව එම ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුගේ ඇප ඉල්ලීම සලකා බැලීම සඳහා ලබන 16 වැනිදා තෙක් නඩුව කල් තැබීය.
-නිමන්ති රණසිංහ-
0 Comments