wathupitiwala-thief

වතුපිටිවල මූලික රෝහලට පැමිණි කාන්තාවන් දෙදෙනකුගේ ගෙල බැඳ තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා රන් භාණ්ඩ දින දෙකකදී වංචනික ලෙස ගලවා ගෙන පැන ගොස් සිටි බව කියන  වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි සැකකරුවකු මේ මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය ඉකුත්දා (02) නියෝග කළාය. 

හෝමාගම පිටිපන උතුර පූනම්කිස්ස තෝම්බුගේ ශෂික මධුශංක (30) නමැත්තකු එසේ රිමාන්ඩ් කැරිණි.


මීරිගම ප්‍රදේශයේ කාන්තාවක පසුගිය ඔක්තෝබර් මස 16 වැනිදා සායනයකට සහභාගි වීම සඳහා වතුපිටිවල රෝහලට පැමිණ සිටි අවස්ථාවේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි අයකු එම කාන්තාව අසලට පැමිණ කෑන් පරීක්ෂණයක් කළ යුතු බව පවසා ඇය අසල ඇති කාමරයකට කැඳවා ඇය පැලඳ සිටි රන් භාණ්ඩ චංචනිකව ගලවා ගෙන පැන ගොස් තිබිණ. මේ පිළිබඳව නිට්ටඹුව පොලිසිය පරික්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.  නිට්ටඹුව පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක ජී.ඩබ්ලිව්.එල්. රවීන්ද්‍ර මහතා කරුණු දක්වමින් මීරිගම ප්‍රදේශයේ කාන්තාවක් පසුගිය 16 වැනිදා සායනයකට සහභාගි වීමට පැමිණ සිටියදී සැකකරුවන් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් ඇය අසලට පැමිණ ස්කෑන් පරීක්ෂණයක් කළ යුතු බවට පවසා ඇති බව කියා සිටියේය.  මොහුගේ ප්‍රකාශයට එම කාන්තාව රැවටී අසල පිහිටි  කාමරයකට ගොස් ඇති බවත් එම අවස්ථාවේ සැකකරු ඇය පැලඳ සිටි සියලුම රන් ආභරණ ගලවා යක් මත තබන මෙන්ද පැවසීමෙන් පසුව එම තැනැත්තිය සියලුම රන් ආභරණ ගලවා මේසය මත තබා ඇති බව ද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කීය.


රන් ආභරණ ගලවා තැබීමෙන් අනතුරුව සැකකරුගේ උපදෙස් පරිදි ඇය ස්කෑන් පරික්ෂණ සිදු කරන තවත් කාමරයකට ගිය අවස්ථාවේ සැකකරු සියලු රන් ආභරණ රැගෙන පැන ගොස් සිටියදී බලවත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව ද ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේය. මෙයට පෙරද මේ අයුරින්ම වතුපිටිවල රෝහලේදී තවත් කාන්තාවක රවටා රන් ආභරණ ගලවා ගෙන ගොස් ඇත්තේ  මෙම සැකකරු බවත් ගම්පහ රෝහලේ ද මෙවැනිම රන් භාණ්ඩ ගලවා ගෙන පැන යාමක්ද මොහු කර ඇති බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කීය. මෙහිදී නිට්ටඹුව පොලිසිය ගොනුකොට ඇති පැමිණිලි  දෙකට අදාළව චෝදනා පත්‍ර ඉදිරිපත් කළ පසුව වරද භාරගන්නා බවට සැකකරු ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එසේ රිමාන්ඩ් කැරිණි. නැවත කැඳවීම මේ මස 16 වැනිදාට කල් තැබිණ.  නිට්ටඹුව පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එල්. රවීන්ද්‍ර හා එහි පොලිස්  කොස්තාපල් එච්.ආර්.එස්. කුමාර (66396) යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.


 - ආනන්ද ඉ. ජයකොඩි-