weligama-hotel-fire

වැලිගම කප්පරතොට ඇවරියවත්ත ප්‍රදේශයේ හෝටලයක ඊයේ (04 වැනිදා) අලුයම සිදුවූ පිපිරීමකින් තිදෙනෙක් තුවාල ලබා තිබුණි.මෙම සංචාරක හෝටලය මැතකදි ඉදිකරන ලද එකක් වන අතර පිපිරිමත් සමග ඇතිවු ගින්නෙන් එහි සිටි පියා සහ පුතුන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගතකර ඇත.
සිද්ධිය වාර්තාවිමත් සමග  පොලීසිය පැමිණ ප්‍රදේශවාසින්ගේද සහාය ඇතිව ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇති අතර මෙම පිපිරීම කුමකින් සිදුවී ඇතිදැයි අනාවරණය කරගැනීම සඳහා කළ පරීක්ෂණයේදී ගෑස් කාන්දුවක් හා විදුලි කාන්දුවක් හේතුවෙන් ඇතිවූ පිපිරුමක් බවට රජයේ රස පරීක්ෂකවරයා එහි ගොස් කළ පරීක්ෂණයේදී අනාවරණය කළේය.
පොලිස් සුනඛයන් හා පුපුරන ද්‍රව්‍ය විශේෂඥයන් කළ විමර්ශනයේ දී වෙනත් පුපුරන ද්‍රව්‍යක් මගින් සිදුවූ පිපිරීමක් යැයි කීමට සාක්ෂියක් පිපිරුම් ස්ථානයෙන් හමුවී තිබුනේ නැත.


දෙස් විදෙස් සංචාරකයින්ට කොත්තු, එළවළු රොටි ඇතුළු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන හෝටලයක මෙම පිපිරීම සිදුව තිබුණේ ඊයේ (04 වැනිදා) අලුයම 03.45 ට පමණය. මෙම පිපිරීමෙන් හෝටලයට සහ අවට නිවාස හා ගොඩනැගිලි 06 කට හානි සිදුව තිබේ.
පිපිරීමෙන් ආර්.කේ නුවන් නමැති හෝටලයේ හිමිකරු සහ බිහග තත්සර නමැති 14 හැවිරිදි ඔහුගේ පුතු යන දෙදෙනාම නිදා සිටි ඇඳත් සමග අඩි විස්සක් පමණ ඈතට විසි වී පිළිස්සුම් තුවාල සහිතව ඇද වැටී සිටියදී රෝහල් ගතකර තිබිණි.
වැලිගම පොලිසිය කළ මූලික පරීක්ෂණයේදී හෝටලයේ තිබූ එක් සිලින්ඩරයකින් ගෑස් කාන්දු වී මෙම පිපිරීම සිදුව ඇතැයි අනුමාන කර තිබුණි.
පිපිරීම සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත පොලිස් විශේෂ කාර්ය බළකාය, බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ වැලිගම පොලිසිය පුළුල් විමර්ශන සිදුකළ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත පිපිරීමට අදාළ රස පරීක්ෂණය ද කඩිනමින් සිදුකර තිබේ.
කෙසේ වෙතත් හෝටලයේ හිමිකරුට මීට දින තුනකට පෙරාතුව එක්තරා පුද්ගලයෙකු කරන ලද තර්ජනයක් ගැන හෝටල් හිමිකරුගේ මව වන තිලක්ශීලී මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද වෙනම විමර්ශනයක් සිදුවන බව පොලිසිය සඳහන් කරයි.
අලුතින් හෝටලය තැනීමෙන් පසු අවට හෝටල් සඳහා මෙය ව්‍යාපාරික තර්ජනයක් ලෙස සලකා ඇතැමුන් ඊට එරෙහිව කටයුතු කරමින් සිටි බව ඇය පවසා තිබුණි.
එම තර්ජනය කළ පුද්ගලයාගේ කඩාකප්පල් කාරී ක්‍රීයාවක්ලෙස මෙය සිදුවූයේදැයි පරීක්ෂණයෙන් පසු හෙලිකරගතහැතිවනු ඇතැයි පොලිසිය පැවසීය.