මහබාගේ, වැලිසර සුසාන භූමිය ඉදිරිපිට අද (04) පෙරවරුවේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන්  එක් පුද්ගලයෙකු මරණයට පත්වූ අතර 5දෙනෙක් බරපතල තුවාල ලැබූහ.මිට්ෂුබිෂි මොන්ටෙරෝ ස්පෝර්ට්ස් (mitsubishi montero sport) වර්ගයේ රථයක් පදවමින් මෙම අනතුර සිදු කර ඇත්තේ රියදුරු බලපත් ලබාගන්නට සුදුසුකම පවා නැති ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකුගේ වයස 16 දරුවෙකු රථය පදවමින් සිටි අවස්ථාවකය. මොන්ටෙරෝ රථයේ ඔහුගේ වැඩිමල් සොයුරියකද ගමන් කරමින් සිට තිබේ.




රියැදුරුට රථය පාලනය කර ගත නොහැකි වීම හේතුවෙන්  රථය මාර්ගයෙන් ඉවතට පැන මීගමුව සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබූ කාර් රථයක, ත්‍රීවීල් රථයක සහ යතුරු පැදි දෙකක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබුණ අතර අනතුරත් සමග රථය පෙරළී උඩුබැලි අතට නතර විය.අනතුරෙන් මියගියේ එක් යතුරුපැදියක ගමන් කළ මහබාගේ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එක් පුද්ගලයෙකු දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසු වන බවට වාර්තා තිබේ.

වැලිසර මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන මොන්ටෙරෝ මෝටර් රථයේ හිමිකරු අද උදෑසන සිය මෝටර් රථය සෝදා පවිත්‍ර කර ව්‍යාපාර කටයුත්තක් සඳහා කොළඹ යෑමට සූදානම් කර තිබෙන බවත් ඔහු ඒ ගමන සඳහා සූදානම් වන අවස්ථාවේදී ඔහුගේ දාසය හැවිරිදි පුත්‍රයා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරිය  රථය රැගෙන නිවසින් එළියට ගොස් ඇතිබව පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.
 අලුත්ම සීසීටීවී දර්ශන අනුව පෙනී යන්නේ අධික වේගයෙන් ධාවනය කරමින් සිටි රථය එක්වරම තදින් බ්‍රේක් කරන ආකාරයයි. මේ හේතුවෙන් එය එකතැන කරකැවී යන ආකාරයක් හා අවට වාහන හා ගැටී පෙරළී යන ආකාරයක් දිස්වේ.

මොන්ටෙරෝ රථය වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ මැද පිහිටා ඇති බාධකය පරයා ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි රථ වාහන පෙළක් සමඟ ගැටීමෙන් මෙම ඛේදවාචකය සිදුවිය.
16 හැවිරිදි දරුවා හා වාහනයේ හිමිකරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර පරීක්ෂණ සිදුවේ.
cctv දර්ශන පහතින්