weyangoda-police-officer

හෙරොයින් මත්ද්‍රව්‍ය ළග තබා ගත්තේ යැයි කියමින් වේයන්ගොඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයකුට පලා යාමට සැලැස්වූ බව කියන පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කර ඇති බව පොලීසිය කියයි.  
සැකකරු පලායාම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා හෙළි කළ කරුණු මත මෙම පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරීවරයා විසිනි.  හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 8,100ක් පමණ ළඟ තබා ගත්තේ යැයි කියමින් පුද්ගලයකු වේයන්ගොඩ පොලිසියේ නිලධාරින්  කණ්ඩායමක් විසින් ඉකුත් 01 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන  තෙක් පොලිස් සිර මැදිරියේ රඳවා තිබිණි යැයි ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවසීය.



මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේ   වේයන්ගොඩ පොලිස් වසමට අයත් එළුවාපිටිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රේෂන් සුරන්දෙණිය හෙවත් බණ්ඩා (49) නමැත්තෙකි.  වැඩ තහනමට ලක්වූ පොලිස් සැරයන්වරයා පොලිස් කාන්තා පොලිස් සැරයන්වරියකගේ බාරයේ තිබූ වැසිකිළියේ යතුර ඇයගේ අනුදැනුමකින් තොරව ලබාගෙන පොලිස් ස්ථානයේ පිහිටි පොදු වැසිකිළියට රැගෙන  ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ සැකකරු පොදු වැසිකිළියට රැගෙන ගිය අවස්ථාවේ පලා ගොස් ඇති බවත් ඔහු (සැකකරු) වැසිකිළියට රැගෙන ගිය පොලිස් සැරයන්වරයා සැකකරුට පලා යාමට සලස්වා ඇති බව පරීක්ෂණවලින් පෙනී ගිය බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය. සැකකරු රඳවා සිටි පොලිස් සිර මැදිරිය තුළ වැසිකිළියක් තිබිය දී මෙසේ සැකකරු සිර මැදිරියෙන් පිටතට ගෙන තිබෙන බව ද පොලිසිය කියයි. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට  වේයන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-