උතුරු පළාතේ හින්දු කෝවිල් වල ඉපැරණි දේව ප්‍රතිමා සහ භාණ්ඩ සොරාගෙන කොළඹ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ දෙදෙනකු පෙරේදා (26 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇතැයි තෙලිප්පලෙයි පොලිසිය කියයි. සැකකරුවන් ළඟ තිබී ඉපැරණි ශෛලමය දේව ප්‍රතිමා 12ක් සහ භාණ්ඩ කිහිපයක් සොයාගත් බවද පොලිසිය පැවසීය. යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේ හින්දු කෝවිල් වල වසර සියයකට ආසන්න පෞරාණික වටිනාකමින් යුත් දේව ප්‍රතිමා සහ භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත සිදුකළ විශේෂ විමර්ශනයකදී සැකකරුවන් හා මෙම දේව ප්‍රතිමා සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා විසින් හින්දු කෝවිල් වලින් සොරාගන්නා මෙම පිළිම විවිධ උපක්‍රම භාවිතා කරමින් රහසිගත ලෙස කොළඹ ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවත් එහිදී විශාල මුදලකට මෙම පිළිම කොළඹ ව්‍යාපාරිකයන්ට අලෙවිකර ඇති බවද පොලිසිය පැවසීය. දේව ප්‍රතිමා මිලදී ගත් ඇතැමුන් පැරණි භාණ්ඩ විකිණීමේ ව්‍යාපාරවල නිරතවූවන් බවත් පොලිසිය සඳහන් කරයි. ඔවුන් මෙම පිළිම ලක්ෂ දෙකකට අධික මුදලකට අලෙවි කිරීම සඳහා තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ තබා තිබියදී සොයාගත් බව පැවසේ. ඉපැරණි ගණදෙවි ප්‍රතිමා,
නාග රූප හා වෛරවන් දේව ප්‍රතිමා සඳහා ව්‍යාපාරිකයන්ගේ ඉල්ලුමක් පවතින බැවින් සැකකරුවන් එම ප්‍රතිමා සොරකම් කිරීමට පෙළඹී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගැනුණ සැකකරුවන් කීරමලේ සහ අච්චුවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුහු මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.
-සිතුම් චතුරංග-
0 Comments