Dr-PB-Jayasundara-resigns-as-Presidential-Secretary

ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු එම ධුරයෙන් ඉවත්වීමට  යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇතැයි අද (27) සවස වාර්තා විය. මේ සම්බන්ධ පසුගිය දින කිහිපය පුරාම පැතිරුණ විවිධ කතා නිසා දේශපාලන අංශ කැළඹී තිබුණ අතර අවසන් තීන්දුව ලැබෙන තුරු තත්වය අවිනිශ්චිත විය.
ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා පී බී ජයසුන්දර මීට දින කිහිපයකට පෙරත් ලිපියක් යොමු කර තිබුණ ද ඊට ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා නොතිබිණ.


ඉන්පසු සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පී බී ජයසුන්දර විසින් තවත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමෙන් පසු දෙවැන්න පිලිගත් බව පැවසිණි. අස්වීමේ ලිපියේ පී බී ජයසුන්දර තමාට එල්ලවූ චෝදනා ගැන හේතුදක්වමින් දීර්ඝ ලෙස කරුණු දක්වා තිබූ බව ද වාර්තා විය.
මොහුගේ ඉල්ලා අස්වීමට බලපෑවේ පසුගිය කාලයේ ආණ්ඩුව තුළ ආන්දෝලනයක් ඇති කළ බොහොමයක් තීන්දු පසුපස ඔහු සිටීමය. එම ඇතැම් තීන්දු ජනපතිවරයාගේ වැඩ පිළිවෙල ගැන වැරදි පණිවිඩ ගෙන ගිය බව ඇතැමුන් පෙන්වා දී තිබුණි.
කාලයක් තිස්සේ ඉහළ තනතුරු වල සේවය කළ නිලධාරියෙකුවූ පීබී ජයසුන්දරට මුල්තැනදී ජනපති අගමැති මුදල් ඇමති දෙවැනි තෙවැනි සිව්වැනි තැනට පත් කර තිබූ බවටද ආණ්ඩුව මෙහෙයවූයේ ඔහු බවටද කතා පැවතිණි. ආර්ථික හා දේශපාලන තීන්දු ලබාදීමේදී පීබී ජයසුන්දර තරමක් ඉක්මන්වූ බවක් හා ක්ෂණික තීරණ නිසා පසුව අහිතකර ප්‍රතිඵල පෙන්නුම් කරන ලද බවත් විවේචන ඇති විය.


පීබී ජයසුන්දරගේ තනතුරට ඒ අනුව අලුතින් කෙනෙකු පත්කරනු ඇත. නව ජනාධිපති ලේකම්වරයා ලෙස නම් 03 ක් යෝජනා වී ඇති අතර ඔවුන් වන්නේ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක සහ දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන එස් අමරසේකරයි.