Litro-agrees-to-paste-the-composition-into-the-tank

ගෑස් බෙදාහැරීමේදී ශ්‍රී  ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශයන්ට අනුකූලවම කටයුතු කිරීමටත්,
අධිකරණයෙන් යෝජනාකොට ඇති පරිදි ගෑස් සිලින්ඩර නිකුත් කිරීමේදී ඒ තුළ අඩංගු ගෑස්වල සංයුතිය සඳහන් ස්ටිකරයක් ප්‍රදර්ශනය කිරීමටත්,  එකඟවන බැව් ලිට්රෝ ගෑස් සමාගමේ නීතිඥවරයා ඊයේ (15දා)
අභියාචනාධිකරණයට දන්වා සිටියේය.



එලෙස දන්වා සිටින ලද්දේ පෙරේදා (14දා) අභියාචනාධිකරණය විසින් කරන ලද නියමය අනුවය.
ජනාධිපති නීතිඥ හර්ෂ අමරසූරිය මහතා ලිට්රෝ ගෑස් සමාගම වෙනුවෙන් එම කරුණු ප්‍රකාශ කර සිටියේය.

විනිසුරු රුවන් ප්‍රනාන්දු හා විනිසුරු සම්පත් විජේරත්න යන  ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය
හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අතර, එය යළි අද (16දා) දිනයේත් වැඩිදුර කරුණු විමසුම සඳහා
කැඳවීමටද නියම විය.

මේ වනවිටත් නිකුත් කොට ඇති ගෑස් සිලින්ඩර් අතරින් විවෘත කර නොමැති මුද්‍රාව සහිත සිලින්ඩර ආපසු
භාරගැනීමට කටයුතු කළ හැකිද යන්න පෙත්සමෙන් සඳහන්ව ඇතත්, සමාගම මේ වනවිටත් ඒ සඳහා පියවර
ගෙන ඇති බව ජනාධිපති නීතිඥ හර්ෂ අමරසූරිය මහතා කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අඩංගු ගෑස්වල සංයුතිය පිළිබඳව නියමිත අගයක්
මේ වනතුරුත් නියම කොට නොමැති බවද එහි තිබිය යුතු සංයුතිය පිළිබඳව නිගමනයකට එළැඹීම සඳහා
සාකච්ඡාවක් ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානත්වයෙන් මේ මස 20 වැනිදා පැවැත්වීමට නියමිත බවත්ය.

තවද ගෑස් පුරවනු ලබන සිලින්ඩරය පැවැතිය යුතු තත්ත්වය පිළිබඳව පමණක් නියමිත ප්‍රමිතියක් ප්‍රමිති
ආයතනය විසින් නිකුත් කොට ඇති බවද නීතිඥ අමරසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

විනිශ්චය මණ්ඩලය මෙහිදී නියෝග කර සිටියේ, සියලු කරුණු අඩංගුකොට දිවුරුම් ප්‍රකාශයක් අද (16දා)
දිනයේදී ඉදිරිපත් කරන ලෙසටය.



පෙත්සම ඉදිරිපත් කළ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙත්සම සම්බන්ධයෙන් තමාම කරුණු ඉදිරිපත්
කරමින් කියා සිටියේ, මේ වනවිටත් දිවයින පුරා ගෑස් පාරිභෝගිකයන් දහසකට ආසන්න පිරිසක්,
වගඋත්තරකාර ගෑස් සමාගම් හා ඊට වගකිවයුතු අනෙකුත් වගඋත්තරකරුවන්ගේද අකාර්යක්ෂමතාව හා
නොසැලකිලිමත් භාවයත් හේතුවෙන් බරපතළ අවදානමකට ලක්ව ඇති බවත්, මේ වනවිටත් සිවුදරු මවක්
ජීවිතක්ෂයටද පත්ව ඇති බවත්ය.

එබැවින් වගඋත්තරකරුවන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශන සිදුකොට නීතිය ක්‍රියාත්මක කරන ලෙස
පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ‘ලිට්රෝ’ ගෑස් සමාගම ‘ලාෆ්ස්’ ගෑස් සමාගම, පාරිභෝගික
කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ඩී.එම්.එස්. දිසානායක, ශ්‍රී  ලංකා ප්‍රමිති ආයතනයේ
අධ්‍යක්ෂිකා සිද්ධිකා සේනාරත්න, වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති
ලසන්ත අලගියවන්න සහ රජයේ ප්‍රධාන තක්සේරුකරුද සෙසු වගඋත්තරකරු ලෙස නීතිපතිවරයාද නම් කොට ඇත.

කමල් මහේන්ද්‍ර වීරරත්න