රටේ පවතින ගැටලු සහ ආර්ථික අර්බුදය හමුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ සහභාගීවීමට නියමිතව තිබූ ඩුබායි එක්ස්පෝ සංචාරය අවලංගු කර ඇතැයි වාර්තාවේ.පසුගියදා අගමැතිගේ තිරුපති සංචාරය හා ඊට වැය කරන ලද අනවශ්‍ය වියදම ගැන විශාල වශයෙන් විවේචන සිදුවූ පසුබිමක මෙම තීරණ වෙනස සිදුව ඇත.
ඩුබායි හි පාලක මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් විසින් ලබන ජනවාරි 03 වනදා එම ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනය ලෙස නම් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතාට ප්‍රදර්ශනය නැරඹීමට ආරාධනා කර තිබුණි.
ඔහු අගමැති රාජපක්ෂ වෙත යවන ලද ලිපියක ඔහු දන්වා සිටියේ රාජපක්ෂගේ ඩුබායි එක්ස්පෝ සංචාරය ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ පොහොසත්කම සහ රටෙහි ජයග්‍රහණ සැබෑ ගෝලීය වේදිකාවක් මත බෙදාහදා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් නියෝජනය කරන බවයි.
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය මාණ්ඩලික ප්‍රධානී යෝෂිත රාජපක්ෂගෙන් කළ විමසීමකදී කියා සිටියේ රටේ පවතින ගැටලු විසඳීම මෙන්ම ආර්ථිකය ආශ්රිත ගැටලු විසඳීම මධ්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ඩුබායි සංචාරය අවලංගු කළ බවයි.
“අපගේ විදේශ සංචිත ද ඩොලර් බිලියන 3 සීමාවට පැමිණ ඇති බැවින් ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා ශුභවාදී බලාපොරොත්තු සහිතව සිටී.
රටේ ප්‍රශ්න නිසා ඔහුට මේ මොහොතේ යාමට නොහැකියි” යෝෂිත පවසා තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් දරුණුතම ආර්ථික හා විදේශ විනිමය අර්බුදයට මුහුණ දී සිටින අවස්ථාවේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විදේශ සංචාර දැඩි ලෙස හෙළා දකින පසුබිමක් නිර්මාණයවී ඇත.
0 Comments