මව රවටා වයස අවුරුදු 12ක හා 7ක දියණියන් දෙදෙනකු මහණ කිරීම සඳහා ආච්චි අම්මා කෙනෙකු රැගෙන ගොස් කෑගල්ල බුලත්කොහුපිටිය ප්‍රදේශයේ ආරණ්‍යයක තබාගෙන සිටියදී සොයා ගත් බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි. දැරියන් දෙදෙනා රැගෙන ගොස් ඇත්තේ ආච්චි අම්මා (පියාගේ මව) විසින් බවත්, ඇය මෙහෙණින් වහන්සේ නමක බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. බාල වයස්කාර දැරියගේ පියා ඔවුන් අත්හැර ගොස් ඇති බවත් , දරුවන් දෙදෙනා කුඩා කාලයේ සිට මව සමග හලාවත ප්‍රදේශයේ ජීවත් වෙමින් සිට ඇති බවත් පොලිසිය කියයි.
දරුවන් සහ තමා අතහැර යාම හේතුවෙන් දරුවන්ගේ මව විසින් ඇගේ සැමියාට එරෙහිව නඩත්තු නඩුවක් ද පවරා ඇති බවත්, ඔහු එම නඩත්තු නඩුවට අධිකරණයේ පෙනී නොසිටීම නිසා අධිකරණයෙන් වරෙන්තු ද නිකුත් කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි. මෙහෙණින් වහන්සේ පසුගිය දිනක හලාවත ඇගේ ලේලියගේ නිවෙසට පැමිණ දරුවගේ පියා රෝගාතුරව සිටින බවත්, දරු දෙදෙනා බැලීමට කැමැත්තෙන් සිටින බවටත් දැනුම් දීම නිසා, මව දරුවන්ට ආච්චි ආම්මා සමග ගොස් පියා බැලීමට ඉඩ දී ඇති බවත් පොලිසිය පවසයි.
පියා බැලීමට යැයි කියා තම නැන්දම්මා විසින් කැඳවාගෙන ගිය දරුවන් දෙදෙනා යළි නිවෙසට රැගෙන නොපැමිණි හෙයින්, මව සිය නැන්දණියට දුරකතන ඇමතුමක් ලබා දී දරුවන්ට පාසල් යාමට තිබෙන නිසා යළි නිවෙසට කැඳවාගෙන එන ලෙස ඉල්ලීමක් කර ඇත. දරු දෙදෙනා යළිත් බාර නොදෙන බවත්, ඔවුන් දෙදෙනා ඉදිරියේ දී මහණ කරන බවට මෙහෙණින් වහන්සේ දැනුම් දී ඇති බවත් පොලිසිය සඳහන් කරයි. දරුවන් දෙදෙනා රැගෙන ගිය මෙහෙණින් වහන්සේට අධිකරණයේ පෙනී සිටින ලෙසට පොලිසිය දන්වා ඇත. පොලිසිය බාරයට ගත් දරු දෙදෙනා හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කර, මවට බාර දුන් බව පොලිසිය කියයි. හලාවත පොලිස් අධිකාරි රංජිත් විජේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් විමර්ශන සිදු කෙරුණි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
0 Comments