Cabraal-resigned-as-Minister-and-Member-of-Parliament-and-returned-as-Governor-of-the-Central-Bank

රු.240කට නිල නොලත් ආකාරයෙන් ඩොලර් මිලදී ගැනීමට රු. කෝටි 7,200ක පමණ මුදලක් පවතින්නේ කවරෙකුගේ ගිණුම්වලද යන්න සහ මෙවැනි මුදල් පැන නගින්නේ කවරාකාරයෙන්ද යන්න සම්බන්ධව ඉතාමත් සුපරීක්ෂාකාව සොයා බලමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කල් මහතා අවධාරණය කරයි. 

විදේශ ප්‍රේෂණ පිළිබඳ පැහැදිලි කිරීම සඳහා පසුගිය 04දා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා,


"අපේ රටට ඇ.ඩො.බිලියන 7ක පමණ මුදලක් වසරකට ප්‍රේෂණ වශයෙන් ලැබුණා. අපේ විදේශ කටයුතු පිළිබඳ ගිණුම් සඳහා එය ඉතා වැදගත් අංගයක් වෙනවා. එය වර්ධනය කර ගැනීමත්, තවදුරටත් අපේ රටේ විදේශ විනිමය  සම්බන්ධයෙන් කෙරෙන ගනුදෙනුවලට තවත් ශක්තියක් ඇති කෙරෙන ලෙස කටයුතු කිරීමත්, අපේ විශේෂ වගකීමක් ලෙස මහ බැංකුව ලෙස අප සලකනවා.  කෙසේ වෙතත්, මේ කාලය තුළ යම් යම් සමපේක්ෂණ ගනුදෙනු නිසා මේ ක්ෂේත්‍රය තුළින් විදේශ විනිමය අඩුවීම අප දුටුවා. එයට විශේෂ හේතු අප සොයා බැලුවා. ඒ අනුව මේ ක්ෂේත්‍රය ශක්තිමත් කිර්මට අප කටයුතු කරනවා. මූලිකවම විදේශ ශ්‍රමිකයන්ට විදෙස්ගතවීම පහසු කරවනවා. සාමාන්‍යයෙන් වසරකට 230,000ක් පමණ විදෙස්ගතවීම් 2020 සහ 2021 දී විශාල ලෙස පහළ යම ඉදිරියේදී යථාතත්වයට පත්වනු ඇතැයි අප විශ්වාස කරනවා. එසේම විදේශගත වනවිට ඔවුන්  වෙනුවෙන් ගිණුම් විවෘත කිරීමටත්, ඒ ඔස්සේ ඉදිරි කාලයේදී මුදල් රටට එවීමට පහසුකම් සැලසීමට සමස්ත බැංකු පද්ධතියම කටයුතු කර තිබෙනවා.




දෙවැනි කාරණය, විදෙස්ගත වූ පසුව මුදල් එවීමේදී ඇතිවන ගැටලු නිරාකරණය කරමින් මහ බැංකුව සියලු බැංකු සමග එක්ව අවශ්‍ය පහසුකම් වැඩි කිරිමයි. එසේ මුදල් එවන්නන්ට වැඩිපුර ප්‍රතිලාභ ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා. එසේ නිල මාර්ගවලින් මුදල් එවීමේදී දෙසැම්බර් මාසය තුළ ඩොලරයකට රු.10ක දීමනාවක් ලබාදීම මෙන්ම, විශ්‍රාම සැලසුමක් ලබාදීමට කම්කරු දෙපාර්තමේන්තුවත් සමග සාකච්ඡාවන්ද අරඹා තිබෙනවා. ඉන් නොනැවතී, රක්ෂණ සැලසුම් ලබාදීමටත්, තීරුබදු රහිත ප්‍රතිලාභ වැඩි කිරීමටත්,තම යැපෙන්නන්ට විවිධ ණය ලබාගැනීමට පහසුකම් සැපයීමටත් බලාපොරොත්තු වෙනවා. බැංකු විසින්ද එසේ මුදල් එවන අයට ඒ ඒ බැංකු මට්ටමින් වාසි  ලබාදීමටත් කටයුතු කරගෙන යනවා.


මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට එක් හේතුවක් වූයේ, පසුගිය මාසය තුළදී පමණක් ඇ.ඩො.මිලියන 300ක පමණ ප්‍රේෂණ ලැබීමේ අඩුවීමක් අප දැකීමයි. ශ්‍රමිකයන් විදෙස්ගතවීමේ සංඛ්‍යාව අඩුවීමත් මීට හේතුවක් වන්නට පුළුවන්. එසේ වුවත් විශේෂයෙන්ම මෙරටදී උන්ඩියාල් වැනි විවිධ නිල නොලත් ක්‍රම ඔස්සේ මුදල් හුවමාරු කරගැනීම්, එනම් රු.200කට විතර තියෙන ඩොලරයට, රු.240ක් පමණ සමහර තැන්වලදී ගෙවන බව අප තේරුම් ගෙන තිබෙනවා. එසේ වන්නේ කොහොමද? මොකද ඇ.ඩො.මිලියන 300ක් කියා කියන්නේ, ශ්‍රී ලංකා රුපියල් බිලියන 72ක්. එනම් රු.කෝටි 7,200ක් බෙදා හැරීමට අවශ්‍යයි. එහෙම බෙදා හරිනවා නම්, මේ සල්ලි කොහෙන්ද? මේ සල්ලි පැන නගින්නේ කොතනින්ද?


මෙවැනි මුදලක් ඇත්තේ කාගේ ගිණුම්වලද? ඒ නිසා අපි ඒ ගැනත් ඉතාමත්ම සුපරීක්ෂාකාර්ව සොයා බලනවා. එසේ සොයා බැලීමේදී මුදල් විශුද්ධිකරණ නීතිය යටතේ යම්කිසි පුද්ගලයෙක් සාධාරණ හේතුවකින් තොරව තවත් අයෙකුගේ ගිණුමට මුදල් බැර කරනවා නම්, මුදල්වලින් ගෙවීම් කරනවා නම් අප සොයා බලනවා. එවැනි ගිණුම් තහනම් කිරීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස සුදානමින් සිටිනවා. ඉදිරි කාලයේදී මෙවැනි ගනුදෙනු සිදුවෙනවා නම්, ඒවා නීතිවිරෝධී ගනුදෙනු හැටියට අප සලකනවා." යැයි පවසා සිටියේය. මේ අතර, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා  විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මෙසේ පවසා සිටියේය.


"විපක්ෂ මන්ත්‍රීවරයෙක් රු.240ට පිටකොටුවෙන් ඩොලර් ගන්න යැයි කියා තිබෙනවා මා දිටුවා. එතුමා මුදල් අමාත්‍යාංශයෙත් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අයෙකු නිසා, එය සම්පුර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බව එතුමන් දැන සිටිය යුතුයි. එවැනි නීතිවිරෝධී කටයුත්තක් එතුමන් ප්‍රවර්ධනය කරන්නේ ඇයි දැයි කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ  කාරණය පසෙකින් තිබුනොත්, මෙවැනි දේ හරහා තමයි, මුදල් විශුද්ධිකරණය සිදුකරන්නේ. අද කුට ව්‍යාපාරිකයන්ටත් වඩා ඇතැම් දේශපාලනඥයන්ට මේ ගැන රිදීලා.  දැනටමත් රුපියල අවප්‍රමාණය වී ඇති ප්‍රමාණය වැඩියි. ඉතිං සමහර අයට අවශ්‍ය විනිමය අනුපාතය තවදුරටත් අවප්‍රමාණය කිරීමට සලස්වමින් මේ  රටේ විශාල අර්බුදයක් ඇති කරන්නටයි. ඔවුන් කියන විදියට ඩොලරය රු.240ක් 250ක් වුණත්, ඒ කියන්නේ 20%කින් රුපියල අවප්‍රමාණය වෙනවා කියන්නෙ, සියලුම භාණ්ඩ මිල 20%කින් වැඩිවීමක්, ඒ අය කැමතියිද, රුපියල අවප්‍රමාණය කරල පෙට්‍රල් මිල 20%කින් වැඩි කරනවාට. ඒ අය කැමතිද, කිරිපිටි මිල 20%කින් වැඩි කරනවාට. ඒ අය කැමතිද, ආනයනික සියලු භාණ්ඩ මිල 20%කින් වැඩි කරනවාට.




ජනතාව  මත තවදුරටත් බර පටවන්න ඔවුන් උත්සාහ කළත්, අපේ උත්සාහය ජනතාව මතින් මේ බර සැහැල්ලු කිරීමයි.  ඒ වගේම වර්තමාන වැඩපිළිවෙළ කරගෙන යනවිට ඇතැම් අවස්ථාවලදී අපට යම් යම් දැඩි තීන්දු තීරණ ගන්නට සිදුවෙන්න පුළුවන්. ඒ නිසා තමයි, මේ උණ්ඩියාල් වගේ ක්‍රමවලට මෙතෙක් කල් අත නොගැසුවාට, ඒවායේ ඇති වැරදි බලපෑම් අවම කරගැනීමට අප කටයුතු කරන්නේ. පැති දෙකකින් අප ඒ ගැන කටයුතු කරනවා. එක පැත්තකින් මුදල් නිල මාර්ගවලින් එවන අයට යම්කිසි සහනයක්, වාසියක් ලබාදෙන්නට කටයුතු කරනවා. "ලංකා රෙමිට්” කියා ඇප් එකක් අපි තව සති කිහිපයකින් හඳුන්වාදීමටත් බලාපොරොත්තු වෙනවා. එවිට ලෝකයේ ඕනෑම කෙනෙකුට මෙරට සිටින කෙනෙකුට ඉතාම පහසුවෙන් මුදල් එවීමටත්, ඒ මුදල් ඉතා පහසුවෙන් ලබාගැනීටමත් ක්‍රමවේදයක් සැලසෙනවා.


තවත් පැත්තකින් නීති විරෝධී ආකාරයෙන් මුදල්  එවනට අය ගැන සුපරීක්ෂාකාරී වෙනවා. අපට  බලයක් නැතැයි කියා ඇතැම් අය කියා සිටියත්, මුදල්  විශුද්ධිකරණ පනත යටතේ මේ සම්බන්ධයෙන් කටයුතු  කිරීමට මහ බැංකුවට නීතිමය බලයක් තිබෙනවා. එදා යුද සමයේ TRO එක අපි තහනම් කළේ කොහොමද? ඒ සියලුම ගිණුම් මුදල් විශුද්ධීකරණය යටතේ තහනම් කළා. ඒ කාලයේ මේ දේවල් කරනවාට විරුද්ධ වූ පිරිසක් සිටියා. ඒත් අපි ඒවා කළා. ඒ සියලු ගිණුම්  හිමියන්ට විරුද්ධව කටයුතු කළා. මුදල් ලබාගත් අයට විරුද්ධව මෙන්ම, මුදල් එවපු අයට විරුද්ධවත් කටයුතු කළා. දැන් විවිධ අය ඔවුන්ගේ වාසියට කතා කරනවා. නීතිවිරෝධී ක්‍රියා රකින්නට හදනවා. එවැන්නක්  කරන්න අපට ඉඩ දෙන්න බැහැ. රටේ මූල්‍ය පද්ධතියට යම් අයෙක් හානියක් කරනවා නම්, ඒ වෙනුවෙන් කටයුතු කරන්න මහ බැංකුවට අයිතියක් තිබෙනවා.


පසුගිය රජයෙන් මේ කටයුතු සිදුවුණේ නැති වුණත්, දැන් අපි ඒ කටයුතු කරනවා. ඒ නිසා ඒවා කරදි. අපට එක එක බලපෑම් එයි. "මේවා කරන්න බෑ, අරව මේවා වෙනවා කියල කියයි. මේ ඔක්කොම කියන්නෙ, ඔවුන්ගේ රාජධානිය රැකගන්න. මොකද මේ වගේ විශාල මුදල් සම්භාරයක් නිල නොවන මට්ටමින්  ගනුදෙනු කරනවා නම්, ඒ මුදල් යට කුඩු ජාවාරම තියෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි නීතිවිරෝධී ක්‍රමවේදයන්ට නොගොස්, අපේ බැංකු හරහා ගනුදෙනු කිරීමේ නිල ක්‍රමවේදයන් වෙත යන්න කියන පණිවුඩය ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස විදේශයන්හි සේවය කරන අපේ ජනතාවට මේ අවස්ථාවේදී ලබාදෙන්න  මා කැමතියි.” යනුවෙන් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.


ෂමිල පෙරේරා