arachchi-kattuwa-incident

ආරච්චිකට්ටුව අඩිප්පල වැලිපෑලැස්ස ප්‍රදේශයේ වතුර පිරී වළකට වැටී පෙරපාසල් දරුවකු පෙරේදා (12 වැනිදා) සවස මියගොස් ඇතැයි ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.  මෙසේ මියගොස් ඇත්තේ ආරච්චිකට්ටුව අඩිපල වැලිපෑලැසේ එස්. ආකාෂ් සංජය නමැති පෙරපාසල් දරුවෙකි. දරුවා රෝහලට ඇතුළු කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.  මියගිය දරුවා වැලිපෑලැස්ස ප්‍රදේශයේ පෙර පාසලක පූර්ව ළමා අධ්‍යපනය ලබන දරුවකු බවත් පොලිසිය පවසයි.



මරණකරුගේ නිවෙස පිහිටි ඉඩමේ නිවෙසට යාබදව වැසිකිළි වළක් කපා එය ගලෙන් බැඳ  නිම කර ඇතත් එහි බිම් මට්ටමේ කොන්ක්‍රීට් වැස්ම සවිකර නැති බව පොලිසිය පවසයි.  මෙය නිම කිරීමට නොහැකිව ඇත්තේ පසුගිය කාලය පුරාවට දිගින් දිගටම වර්ෂාව ලැබුණ හේතුවෙන් බව මරණකරුගේ පියා පොලිසියට ලබා දුන් කටඋත්තරයේ සඳහන් වේ. මේ හේතුවෙන් එම වැසිකිළි වළේ වතුර පිරි තිබූ බව ද පැවසේ. 

ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටි දරුවා එකවර අතුරුදන් වීම හේතුවෙන් සිය අසල්වාසීන් සමග එක්ව සොයා බැලීමේදී අසල්වැසියකුට දරුවාගේ ශරීරය වැසිකිළි වළේ තිබියදී හමුවූ බව මව දුන් කටඋත්තරයේ සඳහන් වන බව පොලිසිය කියයි. මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් හලාවත රෝහලේදී පැවැත්වීමට නියමිත බව පොලිසිය පවසයි.


 -ලලිත් නවරත්න-