attempted-abortion-nidarshana-cause-for-12-year-olds-death-in-mullaithivu-police

මුලතිව්, මූන්ගිල්ආරු ගම්මානයේ 12 හැවිරිදි යෝගරාසා නිදර්ශනා නමැති දැරියක ගැබිනියක බව දැනගත් පසු මාපියන් මැදිහත්වී දරු ගැබ විනාශ කරන්නට යාම නිසා අවාසනාවන්ත ලෙස ඇය මියයාමේ සිදුවීමක් හා අනතුරුව එය ස්ත්‍රී දූෂක ඝාතනයක් සේ හැඟවීමට කැලෑවට ගෙනගොස් දැමීමේ සිදුවීමක් ගැන වාර්තාවේ. ඇය පසුගිය දිනවල අතුරුදන්ව සිටි බවට මව පොලිසිය නොමග යවමින් පැමිණිලි කර තිබූ අතර


මුලතිව්, පුදුකුඩිඉරිප්පු පොලිසිය දැරියගේ මළසිරුර සොයාගැනීමෙන් පසු කරන ලද විමර්ශනයේදී ඇගේ මරණය දැරියගේ පියා, මව,
සොහොයුරිය හා ඇගේ මස්සිනා එක්ව සිදු කරන ලද ඝාතනයක් ලෙස හඳුනාගෙන තිබේ.
ඔවුන් පොලිසිය ඊයේ (23දා) අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය පහළොස් වැනිදා නිවෙසේ සිටියදී මෙම 12 හැවිරිදි දැරිය අතුරුදන්ව ඇති බවට ඇගේ මව පුදුකුඩිඉරිප්පු පොලිසියට පැමිණිල්ලක්
කර තිබිණි. පසුව ඒ සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය දැරිය සොයාගැනීමට මෙහෙයුම් දියත් කළ අතර මවගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ ඉකුත් 14 වැනි දින තමා සිය බාල දියණියවූ අතුරුදන් දැරිය සමඟ තමාගේ වැඩිමහල් දියණිය පදිංචි නිවෙසට ගිය බවය.
ඒ වනවිට වැඩිමහල් දියණිය ඇගේ සැමියා සමඟ  ත්‍රිකුණාමලය බලා ගොස් සිටි බවත් පසුව එදින
රාත්‍රියේ තමා සහ බාල දියණිය එම නිවෙසේ නතර වූ බවත්ය.
පසුදාට පහන් වූ පසු තමා බාල දියණිය සිය නිවෙස අතුපතු ගා දැමීම සඳහා යළි නිවෙසට යැවූ නමුත් ඉන්පසුව අතුරුදන්ව ඇති බවයි.
 18 වැනිදා දැරියගේ මළසිරුර දැරිය අතුරුදන් වූ නිවෙසට යාබද ප්‍රදේශයක තිබී සොයා ගැනීමට පොලිසියට හැකි වූ අතර දැරියගේ සිරුර ඒ වනවිටත් නරක් වී තිබිණි.


 දැරිය සොයාගැනීමට පෙර එම ප්‍රදේශය හා ඒ අවට පොලිස් නිලධාරීන් සෝදිසි කළද දැරියගේ සිරුර හමු නොවූ නමුත් දින දෙකකට පසු දැරියගේ සිරුර එම ප්‍රදේශයෙන් හමුවීම සැකයට භාජනයවූ අතර කිසිවකු විසින් දැරිය මරා එම ප්‍රදේශයට ගෙනැවිත් දමන්නට ඇතැයි පොලිසියට සැක පහළ විය.
පසුව මේ සම්බන්ධයෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පශ්චාත් මරණ
පරීක්ෂණයක් පැවැති අතර ඉන් අනාවරණය වූයේ මියගිය 12 හැවිරිදි දැරිය ගැබිනියක් බවත් ඇගේ දරු
ගැබ විනාශ කිරීම නිසා අධික ලෙස රුධිරය වහනය වීමෙන් ඇය මරණයට පත්ව ඇති බවත්ය.
දැරියගේ වැඩිමහල් සොහොයුරිය හා ඇගේ සැමියා පවසා ඇත්තේ දැරිය අතුරුදන් වනවිට ඔවුන් ත්‍රිකුණාමලයට ගොස් සිටි බවකි. ඔවුන් ත්‍රිකුණාමලය බලා ගමන් කළ බස්රියේ ටිකට්පත්ද පොලිසියට පෙන්වමින් මේ ගැන කිසිවක් නොදන්නා බව කියා තිබුණි.
පසුව දැරියගේ පියා ගෙනැවිත් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු විසින් දැරියගේ මරණයට හේතු වූ කරුණු හෙලි කර තිබුණි.


එහිදී හෙළි වී ඇත්තේ ඔහුගේ වැඩිමහල් දියණිය විවාහ වී සිටින බෑනාගෙන් තම බාල දියණිය අතවරයට ලක්ව ඇය ගැබිනියක් වී තිබූ බවය.  පසුව ඔහුගේ උපදෙස් මත දැරියගේ කුසේ වූ දරු ගැබ රහසින් විනාශ කිරීමට යෑමෙදී දැරියගේ සිරුරෙන් අධික ලෙස රුධිරය වහනය වී දැරිය
මරණයට පත්වූ බවත් ඒ අනුව සිරුර සැඟවූ බවත්ය.
සැකකාර දැරියගේ මස්සිනා බස් රථ කොන්‍දොස්තරවරයකු බවත් ඔහු අතින් මෙම දැරිය අතවරයට පත්ව ඇති බවත් පසුව මේ බව දැරියගේ මව, පියා හා සොහොයුරිය දැනගැනීමෙන් පසු දැරිය ගබ්සාවකට ලක්කර ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
ගබ්සා කිරීමේදී ඇයට දැඩි වේදනාවක් නොමැතිවීම සඳහා බෙහෙත් වර්ග කිහිපයක්ද ලබාදී ඇති අතර දැරියගේ දරු ගැබ ඉවත් කර ඇත්තේද සැකකාර ඇගේ මස්සිනාගේ නිවෙසේදීම බවද අනාවරණය වී ඇත.
පසුව දැරියගේ සිරුර ඔහුගේ නිවෙස අසල ළිඳකට දමා තිබූ අතර පසුව එම සිරුර 18 වැනි දින දැරියගේ නිවෙසට යාබද ප්‍රදේශයකට ගෙනැවිත් දමා ඇත්තේ පොලිසිය නොමග යැවීමටය.
කිසිවකු විසින් ඇය දූෂණය කර මරා දමන්නට ඇති බව හැඟවීමට දැරියගේ සිරුර එසේ දමන්නට ඇති බවට
පොලිසියට සැකපහළ වී ඇත.
 දැරියගේ මව වැඩිමහල් සොහොයුරිය පියා හා දූෂක මස්සිනාද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.  තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර පුදුකුඩිරිප්පු පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.
මුංගිලාරු ගම්වැසියෝ මෙයට සාදාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා උද්ඝෝෂණද පවත්වා ඇත.