මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල ඔලියමණ්ඩිය ප්‍රදේශයේ පදිංචි එළවළු ව්‍යාපාරිකයෙකු ඇතුළු පස් දෙනෙකු බව බදුල්ල මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
බදුල්ල ඔලියමණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අවිවාහක තරුණියක් බදුල්ල කරුණාපුර පදිංචි 25 හැවිරිදි විවාහක දෙදරු පියෙකු වන මොහොමඩ් රමේෂ් නැමති තරුණයකු සමගින් මීට මාසයකට ඉහතදී පලා ගොස් තිබුණි. මේ සම්බන්ධයෙන් තරුණියගේ දෙමාපියන් බදුල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය වෙත පැමිණිල්ලක් කර ඇත.. පිටස්තර ප්‍රදේශයක එක්ව ජීවත්වූ මෙම යුවළ පසුගිය (24 වැනිදා) පෙරවරුවේ දී බදුල්ල පොලිසිය වෙත පැමිණියේ ප්‍රදේශයේ නීතිඥවරයෙකු ද සමගය.
21 හැවිරිදි මෙම තරුණිය හා දෙදරු පියා කැමැත්තෙන් එක්ව ජීවත් වීමට තීරණය කර තිබීම සලකා බලා දෙපාර්ශ්වයේ එකඟත්වය මත පැමිණිල්ල නිරාකරණය කිරීමට කටයුතු කර තිබිණි. එහිදී මෙම තරුණයා තම දියණිය හා ජීවත්වීම ගැන තමන්ගේ අකමැත්තක් නොමැති බවට තරුණියගේ පියා සහ මව පොලිසියේදී ප්‍රකාශ කරමින් දෙපාශ්වයම අත්සන් කර පැමිණිල්ල සමථයට පත්කර ගෙන ඇත.
එහිදී තරුණියගේ පියා යමු පුතා ගෙදරට ගිහින් කතා කරමු යැයි කියමින් බදුල්ල ඔලියමණ්ඩිය ප්‍රදේශයේ නිවසට කැටුව ගොස් තරුණයාට පිත්තල පහනකින්,පුටුවකින් හා තවත් භාණ්ඩවලින් පහරදී බරපතළ තුවාල කර ඇත. අනතුරුව සිය ඥාතියෙකුගේ ත්‍රිරෝද රථයක් කැඳවා තුවාලකරු රෝහල වෙත පිටත්කර යවා බාරකරුවෙකු නොමැතිව තුවාලකරු රෝහලට බාරදී ඇත. එහිදී මෙම තරුණයා මියගොස් තිබිණි.
මෙම තරුණයා රැවටිලි සහගත අන්දමින් තරුණියගේ නිවසට ගෙන ගොස් සිටියදී තරුණයා ඔහුගේ මවට දුරකතන ඇමතුමක් දී අම්මේ මාව මුන් මෙහෙට ගෙනල්ලා ගහල මරන්නයි හදන්නේ. කිහිපදෙනෙකුම මෙතන ඉන්නවා. ඉක්මනට පොලිසියෙන් එක්කන් එන්න යැයි පවසා ඇත.
ක්ෂණයෙන් මව පොලිසිය වෙත දිව ගොස් සිද්ධිය ගැන කියා සිටියත් බදුල්ල පොලිසියේ නිලධාරීන් තරුණියගේ පියා එවන් නරක පුද්ගලයෙකු නොවන වග පවසා මවට බිය නැතුව නිවසට යන්නැයි පවසා තිබිණි. පොලිසියේ මෙම වගකීම් විරහිත ක්‍රියාකලාපය ගැන උසස් පොලිස් නිලධාරියෙකුට කියා පැය එකහමාරකට පමණ පසු පොලිසිය තරුණියගේ නිවසට කැඳවාගෙන යන විටත් තරුණයා පහර කා බදුල්ල මහ රෝහලට ද ගෙන ගොස් ජීවිතක්ෂයට පත්ව අවසන්ය.
ඝාතනයට ලක්වූ තරුණයාගේ මව, ඥාතීන් ඇතුළු පිරිසක් බදුල්ල පොලිසිය ඉදිරිපිට රැඳෙමින් 24 දින රාත්‍රියේ විරෝධයක නිරත වෙමින් චෝදනා කර සිටියේ මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ එළවළු ව්‍යාපාරිකයාගෙන් මුදල් ගෙන ඝාතනය යට ගැසීමට බදුල්ල පොලිසිය කටයුතු කරන බව මරණකරුගේ ඥාතීන් සඳහන් කළේ මෙම ඝාතනයට සම්බන්ධ අපරාධ රැසකට සම්බන්ධ බව කියන බදුල්ල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුද හවුල් වී ඇති බවය. එම පුද්ගලයා තම දරුවා ඝාතනය කරන බවට අවස්ථා කිහිපයකදීම බලපෑම් කර ඇති බවත් ප්‍රධාන සැකකරු වූ ව්‍යාපාරිකයා ද තම දරුවා සොයා දෙන තැනැත්තෙකුට රුපියල් ලක්ෂයක් දෙන පවසා ඇති බවත් මියගිය අයගේ ඥාතීහු කියති.
මෙහිදී බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල පැමිණ මෙම ඝාතනයේ සියලු සැකකරුවන් නොපමාව අත්අඩංගුවට ගන්නා බවට පොරොන්දු වී ඇති අතර පොලිසිය වගකීම් විරහිතව කටයුතු කර ඇත්දැයි සෙවීම සඳහා විමර්ශනයක් සිදුකිරීමට උපදෙස් දී තිබේ.
තරුණියගේ මව පියා සොයුරා හා මාමා ඇතුළු සැකකරුවන් පස්දෙනා බදුල්ල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
(ටී.අසෝක් කුමාර් - හාලිඇල)
0 Comments