bimal-ratnayake-speaks

එදා මිල සූත්‍රයට විරුද්ධව කෑ ගැසු අය අද බලය හොබවද්දී මිල සූත්‍රය අගයමින් කතා කරන්නට පටන්ගෙන තිබෙනවා. මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව ඉටු කිරීමේ දිශාවට හැරීමක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා  ඊයේ (21) පැවසීය.  ඔහු එසේ පැවසුවේ පැලවත්තේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.. ඔහු මෙසේ ද කීවේය. ලංකා ඉතිහාසයේ වැඩිම තෙල් මිල අද ඇති කර තිබෙනවා. මිල වැඩිකිරීම සිදුකර තිබෙන්නේ ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහත වැටී තිබියදියි. ඛණිජ තෙල් සංස්ථාව අද රූකඩයක් වගෙයි. ඛණිජ තෙල් ඇමති ඉල්ලා සිටි අවස්ථාවේ දී මිල වැඩි කළේ නැහැ. ඒ වගේම මට  මුදල් ඇමැතිවරයා ලංකාවේ සිටි අවස්ථාවේදීත් මිල වැඩි කළේ නැහැ.

මිල වැඩි කිරීමේ තීරණය අරන් බැසිල් ඇමැතිවරයා විදේශ ගත වූ පසු ඔහුගේ ඇඟට මේ කුණු වැටෙන්න නොදී තමයි මිල වැඩි කළේ.

තෙල් මිල වැඩිවීමත් සමග බොහෝ ක්ෂේත්‍රවල මිල ගණන් ඉහළ යනවා. බේකරි හිමියෝ බේකරි නිෂ්පාදනවල පාලන මිල ඉවත් කර එය පාවෙන්නට ඉඩ හරින බව ප්‍රකාශ කරනවා. ත්‍රිරෝද රථ සංගම් කියනවා පළමු කිලෝ මීටරයේ  ගාස්තුව අසූව කරන්න වෙයි කියනවා. බස් ගාස්තු වැඩි  කරන්න ඉල්ලනවා. මේ කියලා වැඩි කරන අය. තවත් සමහර භාණ්ඩ මිල ඉහළ ගිහින් කියලා දැන ගන්න වෙන්නේ ඒවා මිල දී ගන්න කඩේට ගියාට පසුවයි. භාණ්ඩ මිල කවුද තීරණය කරන්නේ? මේවාට පාලනයක් නොතිබිය යුතුද? ආණ්ඩුව දුප්පත්  වෙනවා. මිනිස්සු දුප්පත් වෙනවා. කුඩා ව්‍යාපාර සුනාමි වෙලා නැති වෙලා යනවා. නමුත් ඒ  අතරේ දෙගොල්ලක් පොහොසත් වෙනවා.



ඇතැම් අපනයන සමාගම් හා ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයන් එලෙස පොහොසත්  වෙනවා. ඇතැම් මූල්‍ය ආයතනවල ලාබ සියයට තුන්සියයකින් වැඩිවෙලා කියලා ඔවුන්ම කියනවා. රට වැටිලා තිබිය දී ඔවුන් ලාබ උපයන්නේ  කොහොමද? ඒ ඔවුන් හිතුමනාපෙට තමන්ගේ නිෂ්පාදනවල මිල ඉහළ දැමීම නිසයි. වෙළෙඳ නීති කෝ? සතොසෙන් බඩු මල්ලක් බෙදලා ජනතාව මත පැටවෙන පීඩනය නැති කරන්න පුළුවන්ද? ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා තිබෙන වෙළෙඳ නීති ක්‍රියාත්මක කරන ලෙස. එසේ නොකර මිල වැඩි වීමට ඉඩ දී ඔහේ බලා සිටීමට නම් ආණ්ඩුවක් අවශ්‍ය නැහැ.

මිල සූත්‍රයේ අගය ගැන අද ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා කියනවා. මිල සූත්‍රය ගෙනාවේ හිටපු ඇමති මංගල සමරවීරයි. එවැනි විද්‍යාත්මක ක්‍රමයක් තිබීමේ වරදක් නැහැ. නමුත් මිල සූත්‍රය ආවේ කොහෙන්ද? ඒක ආවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්. ඔවුන් කියන්නේ ඡන්දෙන් පාලකයෝ පත් කරගැනීම හැර අනෙක් සියල්ල වෙළෙඳපොළ මත තීරණය වෙන්න ඉඩ හරින ලෙසයි. බලයට එන්න මේවා නරකයි.

වැරදියි කියලා කෑ ගහපු අය අද ඒවා වර්ණනා කරනවා. මේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ලණු කෑමක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හදපු රටක් තියෙනවාද?මේ මිල වැඩිකිරීම බාර නොගෙන මේ ජන පීඩක පාලනයෙන් මිදෙන්න අරගල කරන ලෙස  අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 -මුදිතා දයානන්ද-