යහපාලන ආණ්ඩුව සමයේ රට විනාශ කිරීමට මූලික වූ කණ්ඩායම් සමග නැවත සන්ධානගතව කටයුතු කිරීමට සමගි ජන බලවේගය සූදානම් නොමැති බව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. එවැනි කණ්ඩායම් සමග එක් වේදිකාවකට පැමිණීම ලැජ්ජා වීමට කාරණයක් බවද 23දා කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.

එම අවස්ථාවේ මාධ්‍යවේදීන් විමසු ප්‍රශ්නවලටද පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නේය.




ප්‍රශ්නය - නැවතත් මේ රටේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති කරන්න ඕන කියලා මතයක් යනවා. මේ අරාජික වෙලා තිබෙන රට ගොඩගන්න ඔහුට හැකි වෙයිද?


පිළිතුර - විදේශ රටවලට තීරණය  කරන්නත් බෑ, මත ගොඩ නගන්නත් බෑ මේ රටේ අගමැති වෙන්න ඕන කවුද කියලා. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙක්. එතකොට ඔහු කොහොමද අගමැති වෙන්නේ. ජනතාවගේ අවශ්‍යතාව අනුව තමයි ඒවා සිදු වෙන්න ඕන. ජනතා පරමාධිපත්‍ය කියලා එකක් තියෙනවානේ. රනිල් වික්‍රමසිංහ කියන්නේ කොහොම වුණත් අසාර්ථක නායකයෙක්.


ප්‍රශ්නය - නැවත වතාවක් මේ දේශපාලන පක්ෂ මැතිවරණවලට සුදානම් වෙනවා. සන්ධානගත වීම් ගැන කතා වෙනවා. ඔබතුමාලත් හිතන්නේ සන්ධානගත වීමකට යා යුතුයි කියලද?


පිළිතුර - මේ රටේ පක්ෂ සන්ධානගත වීමේ වරදක් නෑ. විපක්ෂයේ ඉන්න බලවේගත් සමග  අපට සන්ධානගත වෙන්න පුළුවන්.නමුත් යහපාලන රජය තියෙන කොට රට විනාශ කරන්න මූලික වුණු කණ්ඩායමත් සමග අපි ලෑස්ති නෑ ඒක ගමනක් යන්න. අපට ඒ වගේ අයත්

සමග වේදිකාවල නගින්න ලැජ්ජයි. ඒ නිසා සන්ධානගත වන විට අපට බලන්න වෙනවා කවුරුන් සමගද අපට වැඩක් කරන්න පුළුවන් වගේම නොකළ යුත්තේ කවුරුන් සමග ද කියලා.


ප්‍රශ්නය - දයාසිරි ජයසේකර මහත්මයා කියනවා අපට ජේ.වී.පී. එක වගේ පක්ෂයක් සමග සන්ධානගත වෙන්න පුළුවන් කියලා.




පිළිතුර - ජේ.වී.පී. ඒකත් එක්ක අපි සන්ධානගත වෙලා තිබෙනවා ගොඩක් මැතිවරණවලදී. මමත් සන්ධානගත වෙලා පාර්ලිමේන්තු ගියා 2010දී. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. සන්ධාන හදන්න පුළුවන් ඕනම කෙනෙකුට ඕනම තැනක. ඒ සන්ධාන හරහා මොන තරම් ප්‍රමාණයක ජයග්‍රහණ ගන්න පුළුවන්ද, මොන තරම් ප්‍රමාණයකට ඉදිරියට යන්න පුළුවන්ද කියලා ජනතාව තීරණය කරයි.


ප‍්‍රශ්නය - ඔහු කියන විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොරු, මංකොල්ලකාරයෝ, දූෂකයෝ දැන් නෑ. පිරිසිදු පක්ෂයක් කියලා කියනවා. ඒක ඒ විදියටම තියෙනවාද?


පිළිතුර - ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ගැන මට නම් තිබෙන්නේ විශාල පිළිකුලක් ඔහුගේ දේශපාලන ක්‍රියාදාම ගැන. සම්පුර්ණ අසාර්ථක නායකයෙක්. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණට කවදාවත් දූෂණ චෝදනා තිබිලා නෑ. නමුත් ඔවුන්ගේ දේශපාලන දර්ශනය අපේ පක්ෂයේ දේශපාලන දර්ශනයට වඩා වෙනස්.



(දිනේෂ් සමරකෝන්)