Urine-sample-of-a-lone-AIDS-patient-at-Customs

සමාජ රෝග විශේෂඥයකුට ඒඩ්ස් රෝගයේ විෂබීජ සම්බන්ධ රසායනාගාර පර්යේෂණයක් සඳහා ඒඩ්ස් රෝගියකුගේ මුත්‍රා සාම්පලයක් අවශ්‍ය විය. එහෙත් අපේ රටෙන් එවැනි රෝගියකු එක්වර සොයා ගත නොහැකි වූ නිසා එවැනි රෝගීන් සුලභ ඇමරිකාවේ සිටින සිය මිත්‍ර වෛද්‍යවරයකුට ඔහු සිය අවශ්‍යතාව ලියා දැන්වීය.



අවශ්‍ය මුත්‍රා සාම්පලය ලබාගත් එම ඇමරිකානු වෛද්‍යවරයා එය සුරක්‍ෂිතව අසුරා ගුවන් මාර්ගයෙන් මෙරටට එව්වේය. නියමිත කාලය ගෙවුණු පසු සාම්පලය පරික්ෂණයට ලක් කිරිල්ලෙන් වැඩක් නොවන බැවින් විශේෂඥයා එය ඉක්මනින් රේගුවෙන් නිෂ්කාෂණය කර ගැනීමට උත්සාහ ගත් නමුත් අවාසනාවකට එය කළ නොහැකි විය.
ඒ නිසා එම සාම්පලය අතහැර දැමීමට තිරණය විය.
පාවිච්චි කරන ලද පුද්ගලික ද්‍රව්‍යයක් සේ එය මුදා හැරිමට රේගුව එකග වූයේ කාලය බෙහෙවින් ඉක්ම ගිය පසු වුවත් එය පලක් නොවීය. විශේෂඥයා ඒ සම්බන්ධව පසුවටත් ප්‍රතිචාරයක් නොදැක්වීය. කාලයාගේ ඇවෑමෙන් කාටත් මෙම පාර්සලය අමතක විය. අයිතිකරුවන් නැති හා කාලයක් තිස්සේ රේගු ගුදම්වල පල්වෙවී  ඇති බඩු පිළිබඳව කටයුතු කරන නිලධාරියා නීතිය අකුරටම පිළිපදිමින් වෛද්‍ය විශේෂඥයාට අන්තිම නිවේදනය එවීය


එහි මෙසේ සඳහන් විය.
"මෙම ලිපිය ලැබී දින පහක් තුළ ඔබගේ පාර්සලය රේගුවෙන් නිදහස් කර ගත්තේ නැත්නම්, එම පාර්සලය විවෘත කර එහි අඩංගු ද්‍රව්‍යය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ."