පසුගියදා චීන හිටපු අගමැතිවරයෙකුට අතවර චෝදනා එල්ල කිරීම නිසා ඉන් පසුව අතුරුදන්වූ බවට වාර්තා පළවූ චීන ටෙනිස් තරුව 35 හැවිරිදි Peng Shuai පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක් සඳහා අදහස් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට අමතරව ඇය සජීවීව පෙනී සිටින වීඩියෝවක්ද චීන රජයේ මාධ්‍ය නිකුත් කර ඇත.
හිටපු අගමැතිවරයෙකුද වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ නිලධාරියා තමාට ලිංගිකව හැසිරීමට බල කළ බවට ප්‍රසිද්ධියේ චෝදනා කිරීමෙන් පසු ඇයගේ පළමු මාධ්‍ය අදහස් දැක්වීම වූ මෙය සිංගප්පූරුවේ පළවන චීන භාෂා පුවත්පතක් වන Lianhe Zaobao වෙත ලබාදී තිබූ අතර එහිදී කිසිවෙකුට තමා ලිංගික අතවර චෝදනා කළේ නැතැයි කියමින් එම කරුණු ප්‍රතික්ෂේප කර ඇත.
හිටපු විම්බල්ඩන් සහ ප්‍රංශ විවෘත යුගල ශූරිය විසින් පසුගිය මාසයේ සමාජ මාධ්‍යවල පළ කරන ලද මුල් ප්‍රකාශය පළවී මිනිත්තු 20 කින් වාරණයට ලක්වූ බවත් පසුව ඇය අතුරුදන්වී සිටි බවටත් වාර්තා පළවිය.
චීනයේ පරිපාලනය ඇය සැඟවූවා යයි කටකතා පැතිරිණි.
ජාත්‍යන්තර ටෙනිස් ක්‍රීඩා සංවිදාන මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයඇය ගැන බිය පළ කරමින් ප්‍රකාශ නිකුත් කර තිබුණි.
සිංගප්පූරු Lianhe Zaobao වෙත අදහස් දක්වමින් ඇය මෙසේ කීවාය.
"මම ඉතා වැදගත් කරුණක් අවධාරණය කිරීමට කැමැත්තෙමි: කිසිවෙකු මට ලිංගික අතවර කළ බවට චෝදනා කරන කිසිවක් මා කිසි විටෙක පවසා හෝ ලියා නැත, මම මේ කාරණය ඉතා පැහැදිලිව අවධාරණය කිරීමට කැමතියි."
කෙසේ වෙතත් ඇයගේ මෙම ප්‍රකාශය තවම ස්ථිරව ඇය පළ කළ එකක්දැයි තහවුරු කර නැති අතරම ඇය පෙනී සිටින වීඩියෝව මෑතක ලබාගත් එකක්ද පැරණි එකක්ද යන්න තහවුරු කර නැත.
(ඒඑෆ්පී ඇසුරිනි - Gossiplankanews.com)
0 Comments