crocodile-kilinochchi

කිලිනොච්චිය, උදයනගර්, අම්බලකුලම් හි පස් දරු මවක ඝාතනය කර, සිරුර  කිඹුලන් සිටින ඇළ මාර්ගගකට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු ඊයේ (28 වැනිදා) කිලිනොච්චිය ප‍්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලීසිය කියයි. ඝාතනය කොට ඇත්තේ, කිලිනොච්චිය, උදයනගර්, අම්බලකුලම්හි රාහේන්ද්‍ර රාස්ලාම් (67) නමැති පස් දරු මවක බව පොලීසිය සඳහන් කරයි.  මියගිය කාත්තාව එංගලන්තයේ ලන්ඩන් හි සිය දරුවන් සමග පදිංචිව සිට, මෑත කාලයේදී ඇයට හිමි ඉඩමක වගා කටයුතු සිදු කිරීම සඳහා මෙරටට පැමිණ ඇති බවට අනාවරණය වී යැයි ද පොලීසිය කියයි.




කිලිනොච්චිය, උදයනගර්, අම්බලකුලම්හි තාවකාලිකව කුලී නිවෙසක පදිංචිව සිට ඇති ඇය, පෙරේදා (27 වැනිදා) රාත්‍රියේ සිට අතුරුදන්ව ඇති බවට පැමිණිලි ලැබී තිබූ බව ද පොලීසිය කියයි.   ඒ අනුව, කාන්තාවගේ නිවෙස පරීක්ෂා කිරීමේදී ලේ පැල්ලම් කිහිපයක් නිවෙසෙහි බිම තිබී පොලිසියට හමු වී ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ තොරතුරු මත සිදු කළ වැඩිදුර විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබී යැයි පොලීසිය සඳහන් කරයි.  ඝාතනය කළ කාන්තාවන්ගේ නිවෙසට යාබද නිවෙසේ පදිංචිව සිට ඇති සැකකරු, ඝාතනයෙන් පසු සිරුර යතුරුපැදියක නංවාගෙන නිවෙසේ සිට කිලෝමීටර 18ක් දුරින් පිහිටි කිඹුලන් බහුලව සිටින කන්දපුරම් හි ඇළ මාර්ගයකට දමා ඇති බවට හෙළි වී යැයිද පොලීසිය කියයි.


කිඹුලන්, මියගිය කාන්තාවන්ගේ සිරුර ආහාරයට ගැනීමෙන් ඝාතනය වසන් කිරීමට හැකි වේ යැයි තිබූ විශ්වාසය මත සැකකරු සිරුර ඇළ මාර්ගයට දමන්නට ඇති බවට පොලීසිය සැක කරයි. 

ඝාතනයට සහාය වූ තවත් පුද්ගලයකු පිළිබඳ ලැබුණ තොරතුරු පිළිබඳ විමර්ශන සිදු කරන බව ද පොලීසිය පැවැසීය.  අත්අඩංගුවට ගත් සැකකරු, කිලිනොච්චිය, අම්බලකුලම් හි පදිංචි වයස අවුරුදු 22ක පුද්ගලයකු බව පොලීසිය කියයි.  මියගිය කාන්තාවන්ගේ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව, පශ්චාත් මරණ පරීක්ෂණය කිලීනොච්චිය දිසා රෝහලේ සිදු කිරීමට නියමිතව තිබුණි.  සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්ණ කිරීම් සිදු කරන අතර, කිලිනොච්චිය මූලස්ථාන පොලීසිය හා අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
පෙර වාර්තාව
බැංකුවට ගොස් පැමිණි පසු අතුරුදන්වූ කාන්තාවගේ සිරුර පාලමක් යට