dambulla-vikings-lpl-legal

2020-2025 කාලසීමාව සඳහා ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරගාවලියෙහි  පළමු අදියරට ක්‍රීඩා  කළ දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායමේ නිල හිමිකාරිත්වය ලබාගෙන  තිබුණේ තෙලිගු වොරියර්ස් ස්පෝර්ටින්ග් ඇඩ්වෙන්චර්ස් සී/ස පෙද්ගලික සමාගමයි.  කෙසේ වෙතත් මෙම වසරේ පැවැත්වෙන එල්පීඑල් දෙවැනි අදියර සඳහා ඔවුන්ගේ සහභාගීත්වය අත්හිටුවා ඇති අතර, ඒ වෙනුවට දඹුල්ල ජියෑන්ට්ස් නමින් වූ වෙනත් කණ්ඩායමක් ඊට සහභාගී කරවීමට තරගාවලියේ සංවිධායකයන් වන අයිපීජී සමාගම පියවර ගෙන තිබේ.

මීට එරෙහිව දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම නීතිමය සහාය පැතීමට සුදානමින් සිටින බව පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී එහි හිමිකරු සචින් ජෝෂි මහතා සඳහා කළේය.


ජෝෂි මහතා එම මාධ්‍ය හමුවේදී පවසා  සිටියේ ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියර සඳහා තමන් ඉතා කෙටි කාලයක් තුළ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 09ක් වැය කළ බවත්, අයිපීජී සමාගම තමන් සමග පවතින ගිවිසුම නීත්‍යනුකූල නොවන අයුරින් අවසන් කිරීමට පියවර ගෙන ඇති බවත්ය. නිසි දැනුම් දීමකින් තොරව සිදුකර ඇති මෙම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තමන් නීතිමය සහාය පතන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. මේ අතර එල්පීඑල් පළමු අදියරේදී තමන් දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායමේ තක්සේරු අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 3.54ක් දක්වා වර්ධනය කළ බවත්, එම දායකත්වය සහ කැපවීම අයිපීජී සමාගම නොසලකමින් කටයුතු කර ඇති බවත් හෙතෙම චෝදනා කර සිටියි.




මීට අමතරව තෙලිඟු වොරියර්ස්  ස්පෝර්ටින්ග් ඇඩ්වෙන්චර්ස් කීර්තිනාමයට හානි කිරීම, අනුදැනුමකින් තොරව අයිපීජී සමාගම මාධ්‍යයට මාධ්‍ය නිවේදන නිකුත් කිරීම වැනි වංචාසහගත කටයුතු කිරීම යනාදී චෝදනා සම්බන්ධයෙන්ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව එහිදී අනාවරණය විය.  කෙසේ වෙතත් එල්පීඑල් දෙවැනි අදියර සඳහා පැවති මාධ්‍ය හමුවකදී අයිපීජි සමාගමේ සභාපති අනිල් මෝහන් මහතා පවසා සිටියේ දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම සමග කොන්ත්‍රාත්තුවක් අත්සන් කර නොමැති බවයි. එමෙන්ම දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායමේ හිමිකාරීත්වයට එල්ලවී ඇති මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කළ බවද ඔහු එහිදී පවසා සිටියේය.


 පැතුම් ශ්‍රී විජයරත්න