dehiwala-zoo-new-animals

දෙහිවල ජාතික සත්වෝද්‍යානයයේ අලුත උපන් පැටවුන් පස් දෙනාට නම් තැබීමේ උත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් ඉකුත් නත්තල්දා (25 වැනිදා) පැවැත්වුණි.

අලුත උපන් ඇරබියන් ඔරික්ස් ගව පැටවා (ගැහැනු), බූරු පැටවා (පිරිමි), නයිල් හිපෝ පැටවා (ගැහැනු), සිළු වඳුරු පැටවා (ගැහැනු), සිළු වඳුරු පැටවා (පිරිමි) යන පැටවුන්ට නම් තැබීම මෙලෙස උත්සවාකාරයෙන් සිදු කෙරුණි.
 
මෙම පැටවුන්ට සුදුසු නම් යෝජනා කරන ලෙස ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් වයස අවුරුදු 18 ට වඩා අඩු ළමයි අතර තරගයක් පැවැත්වූ අතර, එලෙස ළමයින් දෙදහසකට අධික පිරිසක් එවන ලද නම් අතරින් සුදුසු නම් පහක් තෝරා පැටවුන්ට නම් තැබීම සිදු කෙරුණි.

මෙම උත්සවය වනජීවි හා වන සංරක්ෂණ කැබිනට් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරන,

රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත පෙරේරා සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ෂර්මිලා රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙහිදී ඇරබියන් ඔරික්ස් ගව පැටියාට "සෝරා" ලෙස නම් කෙරුණි. එම නම යෝජනා කර තිබුණේ නාවල ජනාධිපති බාලිකා විදුහලේ ඉගෙනුම ලබන ඩී. ධනංජනා ය. පිරිමි බූරු පැටවාට "ඩිනෝ" යනුවෙන් නම් කෙරුණු අතර, එම නම යෝජනා කර තිබුණේ කළුබෝවිල පදිංචි බම්බලපිටිය මුස්ලිම් බාලිකා විද්‍යාලයේ නව හැවිරිදි නදීදා සජීද් විසිනි. නයිල් හිපෝ පැටවාට "ඔකී" ලෙස නම් කෙරිණි. එම නම යෝජනා කර එවා තිබුණේ පුත්තලම, ශාන්ත මධ්‍යම මහා විද්‍යාලයයේ ඉගෙනුම ලබන 14 හැවිරිදි එම්.ඊ. නතාලි දෙව්මිණි විසිනි. ගැහැනු සිළු වඳුරු පැටවාට "මාෂා" ලෙස නම් කෙරිනි. එම නම යෝජනා කර එවා තිබුණේ බුලත්සිංහල ජාතික පාසලේ ඉගෙනුම ලබන යසුනි නිවර්තනා විසිනි. පිරිමි සිළු වඳුරු පැටවාට "ඩැන්ඩි" ලෙස නම් තබන ලදී.

එම නම යෝජනා කරන ලද්දේ යක්කල පදිංචි ගම්පහ ලයිසියම් ජාතික පාසලේ ආර්.අයි.බී.ගිහන්සා සනුත්මී රත්නමලල විසිනි.

පැටවුන්ගේ ඡායාරූප ඉදිරිපිට ජයග්‍රාහකයන් විසින් යෝජනා කරන ලද නම ප්‍රදර්ශනය කිරීමද මෙහිදී සිදු කෙරුණි.

පැටවුන්ට නම් එවන ලද ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමට දෙහිවල ජාතික සත්වෝද්‍යානය කටයුතු කරන ලදී. නත්තල් දිනයේදී ළමුන් වෙනුවෙන් කැරොල් ගී ඇතුළු වැඩසටහන් රැසක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබුණි. නත්තල් දිනයේදී වයස අවුරුදු 12ට වඩා අඩු ළමුන් සඳහා දෙහිවල, පින්නවල යන සත්වෝද්‍යානද, පින්නවල අලි අනාථාගාරය සහ රිදියගම සෆාරි උද්‍යානය නොමිලේ නැරඹීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අවස්ථාව සලසාදී තිබූ බව එහි අධ්‍යක්ෂක ජනරාල් ෂර්මිලා රාජපක්ෂ කීවාය.

(සාලිය කුමාර ගුණසේකර, ජේ.පී.ඥානතිස්ස - බොරලැස්ගමුව)