ගරු භික්ෂූන් වහන්සේලා ඇමතීමට ''සාධු '' හා ''උන්නාන්සේ'' වැනි ව්‍යවහාර සුදුසු ද? එයින් පවක් සිදු වේ ද?
මෙම ධර්ම පැනයට විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත මිරිස්සේ ගුණානන්ද හිමියන් සමග පැවති සාකච්ඡාවකදී මෙසේ පිළිතුරු දී තිබුණි.
දැනට ''උන්නාන්සේ'' යන වචනය ආරාමවල ව්‍යවහාර කරන්නේ වැඩිමහලු භික්ෂූන් විසින් මහණකමින් හෝ උපසම්පදාවෙන් බාල සබ්‍රම්සරුන්ට ය. ගිහියකුට ඒ ව්‍යවහාරය භික්ෂූන් සම්බන්ධයෙන් නොගැළපේ.එහෙත් නගරබද ව විශේෂයෙන් කොළඹ පළාතේ ගිහියන් භික්ෂූන් වහන්සේලා ගැන කථා කරන විට උන්නාන්සේලායි. ව්‍යවහාර කරන බව පෙනේ. එය නිගරුවක් සඳහා කියන්නක් නොව පුරුද්දට කියවෙන්නකි.
එය ශාසනානුලෝම ව්‍යවහාරයක් නම් නොවේ. මෑතක සිට ගිහියන් පවා භික්ෂූන්ගේ නම පමණක් කියා කථා කරන බවක් ද අසන්ට ලැබේ. භික්ෂූන් දේශපාලනයට යාමෙන් සිදු වූ පිරිහීමක් ලෙස එය පිළිගත යුතු ය. භික්ෂූන් පක්ෂවලට බැදී දේශපාලන පොරපිටියට බැසීමෙන් ගෞරවය පිරිහීමෙන් තමන්ට විපක්ෂයේ භික්ෂූන් ගැන නම් පමණක් කීමට පුරුදු වේගන යන සැටියක් මෙයින් පෙනේ.ස්වාමීන්වහන්සේ, හාමුදුරුවන් යනාදි යෝග්‍ය ව්‍යවහාර කොතෙකුත් තිබිය දී, නම පමණක් හෝ උන්නාන්සේයි භික්ෂූන් හැඳින්වීම හොඳ යයි කිව නොහැකි ය.
දැන් දැන් බෝවී යන “සාධු” යන ව්‍යවහාරය ගැන ද මෙය ම කිව යුතු ය. සමහර තරුණ පරපුරේ අය “සාදු" යි භික්ෂූන් අමතන්නේ අගෞරව පූර්වක ව නොව අලුත් වචනයට ඇති ප්‍රියකම නිසා විය යුතු ය. එය ද ශාසනික සම්ප්‍රදායයට නො ගැළපෙන්නකැයි නොකියා ම බැරි ය. ඉන්දියාවේ හින්දු පැවිදි පින්වතුන්ට “සාදු" (සාධු) කියා අමතන බවත්, කාම්බෝජයේ භික්ෂූන්ට “සිරිමහසාධු"යි ගෞරව උපාධියක් තිබෙන බවත්
මෙහිලා සඳහන් කළ හැකි ය. එහෙත් ''දේසේ හැටියට වාසේ'' යන නීතිය ද ගරු කළ යුතු බව කිව යුතු ය.
0 Comments