අම්පාර තිරුක්කෝවිල් පොලිසියේ තම පොලිස් සගයින් සිව්දෙනෙකුට වෙඩි තැබූ තිස් හතර හැවිරිදි පොලිස් සැරයන් දිනේෂ් රවීන්ද්‍ර කුමාර නිසා පවුල් ගණනාවක් අද අසරණවී තිබේ. සිද්ධියෙන් පසුව පොලිසියට භාරවූ දිනේෂ් රවීන්ද්‍ර තමා ‘වීර ක්‍රියාවක් කළා‘ සේ අදහස් දක්වා තිබේ. එවැනි ක්‍රියාවක් සිදු කරන්නට හේතුවූ කාරණාව ලංකාවේ නොසලකා හරින නමුත් සංකීර්ණ තත්වයක පවතින ‘රාජකාරී පීඩනය‘ සම්බන්ධ මනෝ විද්‍යාත්මක ගැටලුවකි. එය ගැඹුරින් විමර්ශනය කළ යුතු කාරණාවකි.
දිනේෂ් පොලිසියේ කාලයක් තිස්සේම වැඩ කර ඇත්තේ පොත් පත් වල වැඩයි. ඔහුගේ දණහිසේ ආබාධය නිසා වෛද්‍ය නිර්දේශ මත වෙනත් රාජකාරී ලැබී නොතිබිණි. ඔහු මේ නිසා කොන්වූ අතර ඇතැමුන් පගාවට මෙඩිකල් හදාගෙන නේදැයි උසුළු විසුළු කර තිබුණි. ඔහුට පොලිසියේ කිසිදු මිතුරෙකුද සිට නැත.
24 වැනිදා දිනේෂ් තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපතිවරයා හමුවී තමාට නිවාඩුවක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබේ. මෙහිදී නත්තල් රාජකාරියට නිලධාරී හිඟය හේතුකරගෙන ඔහුට නිවාඩු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණි. මොහු සෑම මසකම පාහේ දින අටක නිවාඩුවක් ගෙන තිබෙන බවත් එවන් නිවාඩුවක් ගෙන අවසන් වරට රාජකාරියට වාර්තා කර ඇත්තේ පසුගිය නොවැම්බර් 18 වැනිදා බවත් පැවසුණ අතර නිතර නිවාඩු ගන්නට ආ ඔහුට පොලිසියේ විශේෂ පිළිගැනීමක් නොවූ බවත් පැවසිණි.
මේ හේතුවෙන් ඔහු මානසික පීඩනයකින් සිට ඇති බව වාර්තා විය. ඔහු කලබලය ඇති කරන වෙලාවේ ස්ථානාධිපතිවරයා පොලිසියේ සිට නැත.
දිනේෂ් පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව ළඟ මුර රාජකාරී කුටිය අසලට ආවේ රාත්‍රී 10.30ට පමණය. එහි රාජකාරියේ නියුතු සැරයන්වරයාගේ ගිනි අවිය උදුරාගත් දිනේෂ් උප සේවක නිලධාරී කොස්තාපල්වරයාටත්, එහි සිටි තවත් නිලධාරියෙකුටත් වෙඩි තැබූ අතර දෙදෙනාම එම ස්ථානයේදීම මියගොස් තිබිණි. අනතුරුව පොලිස් ස්ථානයේ ආයුධ ගබඩා කර ඇති පෙට්ටිය විවෘත කරන මොහු එහි තිබූ තවත් ටී. පනස් හය ගිනි අවියක් සහ මැගසින් 19ක් ගෙන ඇත. එම අවස්ථාවේදී රාජකාරී කටයුත්තකට බැහැරට ගොස් සිටි ස්ථානාධිපතිවරයාත් තවත් නිලධාරීන් කිහිප දෙනකුත් රාජකාරී ජීප් රියෙන් පොලිස් ස්ථානය කරා පැමිණෙමින් සිටි අතර ඔවුන් ඉලක්ක කරගෙන මොහු වෙඩි තැබුවේය. එයින් පොලිස් කොස්තාපල් රියැදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලබා තිබුනි. රෝහල් ගත කිරීමෙන් පසු තවත් එක් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට පත්විය.
එදින රාත්‍රියේ නිවෙසට ගිය පොලිස් සැරයන්වරයා මවගේ දෙපා නැමද සිද්ධිය පාපොච්ඡාරණය කර ගිනි අවි උණ්ඩ සමග ඇතිමලේ පොලිසියට ගොස් භාර වූයේය.
තිස් හතර හැවිරිදි පොලිස් සැරයන් දිනේෂ් රවීන්ද්‍ර කුමාර මොණරාගල, ඇතිමලේ වැව ආසන්නයේ පදිංචි විවාහක පුද්ගලයෙකි. ඔහුට නැගණියකද සිටී. නැගණිය පවසන්නේ ඔහු විවාහවී මාස 4 ක් බවයි. ඔහු විවාහක බිරිය සමග තවම එක වහලක් යට පදිංචියට පැමිණ නැත.
මව,පියා සහ සොහොයුරෙකු සමගින් ඔහු නිවසේ පදිංචිව සිටි බව පැවසිණි.
ඔහු අම්පාර තිරුක්කෝවිල් පොලිසියට අනියුක්තව රාජකාරියට පැමිණ ඇත්තේ මීට මාස නවයකට පෙරය. ඔහු මීට පෙර වවුනියාව ඕමන්ත පොලිසියේ රාජකාරී කර ඇත. ඔහු සමන්තුරේ පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායට අනියුක්තව ද සේවය කළ අයෙකි. 2017 වසරේදී බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දී පැවති පොලිස් පාඨමාලාවක් අතරවාරයේදී දණහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් වෙහෙස රාජකාරීවලින් ඉවත් වීමට වෛද්‍ය අනුමැතිය ලබා තිබිණි.
ඔහුගේ දණහිසේ සිදුවූ තුවාලයක කූඩැල්ලකු සපාකෑමෙන් පසු ඉන් විෂබීජයක් දණහිසට ඇතුළු වීම මත පාදයේ මස් කැබැල්ලක්ම ශල්‍යකර්මයක් මාර්ගයෙන් ඉවත් කිරීමට සිදුව තිබිණි. මේ අනුව පොලිස් සැරයන් දිනේෂ් රවීන්ද්‍ර කුමාර පොලිස් ස්ථාන කිහිපයකම වෛද්‍ය නිර්දේශ මත සැහැල්ලු රාජකාරී සිදුකර ඇත. පසුගිය 24 වැනිදා ඔහු තිරුක්කෝවිල් පොලිසියේ රථවාහන අංශයේ පොත්පත්වල රාජකාරී කළේය.
මොහුගේ ශාරීරික පීඩාකාරී තත්ත්වය ඔහුට මානසික පීඩාවක් බවට පත්වූයේ තිරුක්කෝවිල් පොලිසියට පැමිණීමටත් පෙර සිටය. මොහුගේ ආබාධය නිලධාරීන් හෑල්ලුවට ලක්කිරීමත්, ඔහුට සැහැල්ලු රාජකාරී කිරීමට ඉඩකඩ ලබාදීමට ඊර්ෂ්‍යා කිරීමත් බොහෝ නිලධාරීන් ලෙඩක් නැතිව පන්දම් අල්ලා සැහැල්ලු රාජකාරී හදාගෙන ඇති බවට සහ පිං පඩි ගන්නා බවට මොහුට නිරන්තරයෙන් අපහාසත් සිදුකර තිබිණි. මෙමගින් වූ පීඩනය දිනෙන් දින උග්‍ර වන්නට පටන් ගෙන තිබිණි. මිතුරෙකු යැයි කීමට ඔහුට පොලිසියේ කිසිවෙකු හෝ සිටියේ නැත. ඕමන්ත මෙන්ම ඔහු පෙර සේවය කර ඇති සමන්තුරේ පොලිසිවලද ඔහු රාජකාරී කර ඇත්තේ හුදෙකලාවය.
සැකකාර පොලිස් සැරයන්වරයාගේ මව මෙසේ කියන්නීය.
‘‘අපේ සුදුපුතාගේ (සැකකරුට පවුලේ අය කියන නම) යාළුවෙක් ඉන්නවා පොලිසියේ. එයා තමයි කිව්වේ මල්ලී මෙහෙම වෙඩි තියලා කියලා. එයා ගෙදර ආවා. ඇවිත් විස්තරේ කියලා වැන්දා. මොණරාගලට භාර වෙන්න ගියේ එයා. ආපහු එයා මෙහේ එන අතරවාරයේදී පොලිසියේ අය වෙඩි තිබ්බ නිසා එයා ඇතිමලේ පොලිසියට භාර වුණා.
එයා 2012 වසරේ ආබාධයට ලක්වූ නිසා එයාට යුනිෆෝම් අඳින්න බැහැ. එයාට මුල ඉඳලම පොලිසියේ නිලධාරීන් කෙනෙහිලිකම් කළා. එයා මෙඩිකල් නිසා එයාට වෛර කරනවා. එයා මෙඩිකල් පගාවට අරන් නිකං පඩි ගන්නවා කියල තැන් තැන්වල කියල තියෙනවා. ඒ අහිංසකයාව මේ නිලධාරීන් අංගුලිමාලයෙක් කරලා. මේ පීඩනයෙන් තමයි මගේ දරුවා වැඩ කරලා තියෙන්නේ’’
මෙම වෙඩි තැබීමෙන් මරණයට පත්වූයේ පොලිස් සැරයන් 44132 ඒ.එල්.එම්.අබ්දුල් කාදර්, පොලිස් කොස්තාපල්වරුන් වන (78857) ප්රබුද්ධ ගුණසේකර, (8861) අලගරත්නම් නවිනන්,පොලිස් කොස්තාපල් රියැදුරු 17882 ඩී.එම්. තුෂාර යන නිලධාරීන්ය.
සැකකාර දිනේෂ් රවින්ද්‍ර කුමාර නමැති පොලිස් සැරයන්වරයා අක්කරෙයිපත්තුව මහෙස්ත්‍රාත් එම්.එච්.එම්. හන්සා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 21 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
0 Comments