කොටහලු මගුලකට ගොස් අධික ලෙස බීමත්ව නිවෙසට යන අතරතුර දුම්රිය මාර්ගයේ නිදාගත් පුද්ගලයකු දුම්රියේ ගැටී මියගොස් ඇතැයි ගණේමුල්ල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ මෙනේරිගමලාගේ දොන් ජයරත්න නමැත්තෙකි. ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහුගේ මරණ පරීක්ෂණයට පෙර සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොරෝනා රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. එම නිසා මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු කොවිඩ් රෝගියකුගේ මරණයක් ලෙස සිදුකර ඇතැයි පොලිසිය කියයි.
බුළුගහගොඩ දුම්රියපොළ වේදිකාවේ සිට ගණේමුල්ල දෙසට මීටර් 100ක් දුරින් ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියකට යට වී මොහු මියගොස් ඇතැයි ගණේමුල්ල පොලිසිය පවසයි.
බුළුගහගොඩ පැවැති කොටහලු මගුල් ගෙදරකට සහභාගි වී අධික ලෙස මත්පැන් පානය කොට මධ්‍යම රාත්‍රියේ නිවෙසට යාමට පැමිණි මොහු, නිවෙස යැයි සිතා රේල් පාරේ නිදාගෙන සිටියදී රඹුක්කන සිට කොටුව දක්වා ධාවනය වූ තෙල් දුම්රියට පෙරවරු 12.45ට පමණ යට වී ඇතැයි උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී පැවැති මරණ පරික්ෂණයේදී හෙළි විය. මෙම පුද්ගලයා දුම්රිය පැමිණෙනු දැක හිස ඔසවා දුම්රිය දෙස බලා, නැවත නිදාගත් බවත්, එම අවස්ථාවේ දුම්රිය නවත්වා ගැනීමට ප්‍රමාණවත් දුරක් නොතිබූ බවත් හදිසි මරණ පරික්ෂණයේදී සාක්කි දෙමින් දුම්රිය රියැදුරා ප්‍රකාශ කළ බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක එස්.අයි. දිසානායක සහ සුනිල් උක්වත්ත මහත්වරු පවසති.
පශ්චාත් මරණ පරීක්ෂණයට පෙර පී.සී. ආර්. පරික්ෂණයක් කර ඇති අතර එහිදී ඔහු කෝවිඩ් රෝගියකු ලෙස හඳුනා ගත් බව උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක එස්.එස්.අයි. දිසානායක සහ සුනිල් උක්වත්ත මහත්වරු කීහ. මෙම පුද්ගලයා සමග එකට මත්පැන් පානය කළ පුද්ගලයන්ට සහ එම සාදයට සහභාගි වූ පුද්ගලයන්ට කෝවිඩ් රෝගය වැළඳීමේ අවදානමක් ඇතැයි උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.එස්.අයි. දිසානායක සහ සුනිල් උක්වත්ත මහත්වරු පවසති.
-විමුක්ති එස්. රුද්‍රිගු-
0 Comments