සත්ව ආහාර සඳහා ගෙන්වන බඩඉරිගු කිලෝවකට පනවා තිබෙන 25% බදු මුදල ඉවත් කළහොත් බිත්තරයක තොග මිල රුපියල් දෙකකින් අඩු කළ හැකි බවත්, එසේ නොමැතිව පවතින තත්ත්වය ඉදිරියට ගෙන ගියහොත් මෙරට බිත්තර කර්මාන්තය දැඩි අර්බුදයකට පත්වන බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.දේශීය වෙළෙඳපොළ තුළ බඩඉරිඟු කිලෝවක් රුපියල් අනූවකට අලෙවික්වෙමින් තිබියදී රටින් බඩඉරිඟු ගෙන්වීමට අවසර ලබාදී 25%ක බද්දක් යෙදවීමට කටයුතු කළ බවත්,
මේ අනුව දේශීය වෙළෙඳ පොළ තුළ රුපියල් අනුවකට අලෙවි වූ බඩඉරිඟු කිලෝවක මිල මේ වනවිට රුපියල් එකසිය පහක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එම සංගමයේ ලේකම් ආර්.එම්. සරත් මහතා පැවසීය. රටින් බඩඉරිඟු ගෙන්වන බවට සඳහන් කළද, තවමත් බඩඉරිඟු ගෙන්වීමට කටයුතු කර නොමැති බවත්, බිත්තර කර්මාන්තයේදී සත්ව ආහාර ලෙස 50%ක ප්‍රමාණයක් බඩඉරිඟු භාවිත කරන බවත් ඒ මහතා පවසා සිටියේය. බඩඉරිඟු මිල ඉහළ යාම හා බඩඉරිඟු හිඟකම නිසා දෛනික බිත්තර නිෂ්පාදනය මේ වනවිට 30කින් පමණ අඩු වී තිබෙන බවත්, මේ නිසා දෛනික ඉල්ලුමට සරිලන ලෙස මේ වනවිට බිත්තර නිෂ්පාදනය සිදු නොවන බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.
මේ නිසා බිත්තරයක තොග මිල රුපියල් විසි තුනයි ශත පනහක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, කුමන තත්වයක් යටතේ වුවත් උත්සව සමය මූලික කර ගෙන මෙම මිල තවදුරටත් පවත්වාගෙන යන බවත් හෙතෙම සඳහන් කළේය.බඩඉරිඟු කිලෝවක මිල ඉහළ යාම නිසා අනෙකුත් කුකුළු කෑම කිලෝවක මිල රුපියල් 65 සිට රුපියල් 120 දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, පවතින ත ත්වය නිසා සමහර පිරිස් මේ වනවිට කර්මාන්තයෙන් ඉවත්වෙමින් සිටින බවත් ආර්.එම්. සරත් මහතා පැවසීය. මෙම දෛනික බිත්තර අවශ්‍යතාව බින්තර ලක්ෂ අසූවක් බවත්, එහෙත් මේ වනවිට දෙනික බිත්තර නිෂ්පාදනය ලක්ෂ හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
(ඉන්දික හේවාවිතාරණ)
0 Comments