expressway-advice-police

අධිවේගී මාර්ගයේ සිදුවන හදිසි අනතුරු වළක්වා ගැනීම සඳහා මෙම මාර්ගය භාවිතා කරන රියදුරන් වෙත පොලිස් මූලස්ථානය විශේෂ දැනුම් දීමක් කරයි.  විශේෂයෙන් උත්සව සමයේ අධිවේගී මාර්ගය ගමන් ගන්නා වාහන රියදුරන් මෙම උපදෙස් දැඩිව පිළිපැදිය යුතු බව පොලිසිය කියයි.   අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනයක් හදිසියේ ආපදාවට ලක් වුවහොත් තම අභිමතය පරිදි එය අලුත්වැඩියා කිරීම කිසිසේත් සිදු නොකළ යුතු බවත්, අධිවේගී ටිකට් පතේ ඇති 1969 අංකය අමතා ඒ බව දැනුම් දිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තන්දූව මහතා පවසයි. 1969 අංක ඇමතීම සඳහා කිසිදු මුදලක් වැය  නොවන බවද ඔහු පැවසීය.



එම අංකය අමතා අදාළ වාහනය නවතා තිබෙන ස්ථානයේ ඇති කිලෝ මීටර් කණුවේ  අංකය දැනුම් දිය යුතු බවත්, එම දැනුම් දීම අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ අවශ්‍ය පියවර ගන්නා තෙක් කිසිදු රියදුරකු වාහනයෙන් බැස සිය අභිමතය පරිදි අලුත්වැඩියා කටයුතුවල නිරත නොවිය යුතු බවත්, එය නීති විරෝධී ක්‍රියාවක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.  වාහන අපදාවන්ට ලක් වූ අවස්ථාවන්වලදී ඇතැම් රියදුරුන් වාහනයෙන් බැස සිය අභිමතය පරිදි වාහන අලුත්වැඩියා කිරීමට ගොස් අනතුරට ලක් වූ අවස්ථා රැසක්ම වාර්තා වී ඇති  බවද හෙතෙම කියා සිටියේය.

වාහනයක යම් කාර්මික දෝෂයක් ඇති වුවහොත් ඒ බව පොලිස් නිලධාරීන් දැනුවත් කර වාහනය මාර්ගය අයිනට කර නවතා රියදුරු වාහනයෙන් බැස මාර්ගය අයින්නේ තිබෙන ආරක්ෂක වැටෙන් පිටතට පැමිණ රැදී සිටින ලෙසට ද පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.  අධිවේගී මාර්ග වාහනයක් ධාවනය කිරීමේ දී රියදුරුට යම් කිසි නිදිමත ගතියක් දැන් නම් ආසන්නයේ ඇති පිටවීමේ මධ්‍යස්ථානයෙන් පිටවිය යුතු බවත්, එලෙස පිටවී නියමිත පරිදි විවේකයක් ලබාගෙන යළිත් රථය ධාවනය කළ හැකි බවට හැගේ නම් පමණක් යළිත් අධිවේගී මාර්ගයට පිවිසෙන ලෙසටද පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.




අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා ඇතැම් පුද්ගලයන් ආහාර ලබා ගැනීමට, සිරි නැරඹීමට වාහන මාර්ගය අයිනේ නතර කර එවැනි කටයුතුවල නිරත වන අවස්ථා නිරීක්ෂණ වන බවත්, එය සම්පූර්ණයෙන් නීති විරෝධී ක්‍රියාවක් බවත් එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම  ක්‍රියාත්මක කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා  සිටියේය. උත්සව සමයේ බොහෝ දෙනා අධිවේගී මාර්ගය භාවිතා කරන බවත්, මේ නිසා මෙම කාලසීමාවේ සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා මෙම දැනුවත් කිරීම සිදුකළ බවත්, අධිවේගී මාර්ගය භාවිතා කරන සියලු  දෙනා දැඩි ආරක්ෂිතව, සැලකිලිමත්ව රථ ධාවනය කළ යුතු බවද පොලිස් මූලස්ථානය  දැනුම් දෙයි.

 -ඉන්දිකා රාමනායක-