අනතුරක් සිදුකර ජංගම දුරකථනයක් බලහත්කාරයෙන් රැගෙන ත්‍රීරෝද රථයකින් පළා යමින් සිටි පිරිසක් පසු පස හඹා ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සිව් දෙනෙකු ත්‍රීරෝද රථයක් ද සමග හොරණ මුණගම දී පෙරේදා (12) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල සහ හන්තොට පදිංචිකරුවන් බවද පොලීසිය පවසයි.  හොරණ ප්‍රදේශයේ සිට ඉංගිරිය දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් සහ ඉංගිරියේ සිට හොරණ දෙසට පැමිණෙමින් තිබු සැකකරුවන් පිරිස රැගත් ත්‍රීරෝද රථය හොරණ ගුරුගොඩ දී එකිනෙක ගැටී අනතුරට පත්ව තිබුණි.


ඉංගිරිය දෙස සිට පැමිණ තිබු ත්‍රීරෝද රථයේ රියදුරු ඇතුළු පිරිස මත්පැන් පානය කර සිට ඇති අතර ඔවුන් පිරිස අනෙක් ත්‍රීරෝද රථයේ රියැදුරුට අනතුරින් පසු තර්ජනය කර එම රියදුරු සන්තකයේ තිබු ජංගම දුරකථනය බලහත්කාරයෙන් ලබාගෙන ත්‍රීරෝද රථයේ නැගී හොරණ දෙසට පළා ගොස් තිබිණි.

එහිදී අසරණ වූ එම ත්‍රීරෝද රථ රියැදුරු ගුරුගොඩ ඉන්ධන  පිරවුම් හල ආසන්නයේ රථ වාහන රාජකාරියේ නිරතව සිටි පානදුර කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනාට ඒ බව දැනුම් දීමත් සමගම වහා ක්‍රියාත්මක වූ එම නිලධාරින් දෙදෙනා හොරණ දෙසට අධික වේගයෙන් පළා යමින් තිබු ත්‍රීරෝද රථය පසු පස කිලෝ මීටර් හයක් පමණ දුරක් හඹා ගොස් හොරණ මුණගම දී එම ත්‍රීරෝද රථය නවතා ගැනීමට සමත් වී තිබු බව පොලිසිය කියයි..

එහිදී පොලිස් නිලධාරින් දෙදෙනා ඔවුන් කළ වරද පහදා දී අත්අඩංගුවට ගැනීමට යාමේ දී එම ත්‍රිරෝද රථයේ සිටි ත්‍රීරෝද රියැදුරු ඇතුළු පිරිස පොලිස් නිලධාරීන් දෙදෙනාට බැණ වදිමින් කළහකාරි ලෙස හැසිරී ඇත. එම අවස්ථාවේ දී එම නිලධාරින් දෙදෙනා හොරණ පොලිසියට ඒ බව දැනුම් දී ඇති අතර පොලිස් නිලධාරින් එම ස්ථානයට  ගෙන්වා සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

  සැකකරුවන් සිව් දෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

  -බිමල් ශ්‍යාමන් ජයසිංහ-