මව්පියන්ට අකීකරු වී දාහත් හැවිරිදි පෙම්වතාගේ නිවෙසේ නතරවීමට උත්සාහ කළ ගාල්ල නගරයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක දාහතර හැවිරිදි සිසුවියක කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කළාය.

මෙම සිසුවිය දාහත් හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගාගෙන ඇති අතර ඇයගේ උපන් දිනයට පෙම්වතා විසින් එවන ලද තෑග්ගක් ඇය සඟවාගෙන  සිටියදී පියා දැක ඇත. පසුව පියා ඒ පිළිබඳව විමසීමට දියණිය සමග පෙම්වතාගේ නිවෙසට පැමිණි අවස්ථාවේ ඇය පියා සමග ආපසු නිවෙසට යාමට නොහැකි බව පවසා ඔහුගේ නිවසේ නතරවීමට උත්සාහ කර ඇතැයි උසාවියේදී අනාවරණය විය.


එම අවස්ථාවේ පියා ආපසු ගොස් ඇති අතර පෙම්වතාගේ මව ඇය ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත කැඳවාගෙන පැමිණ ඇත. එහිදී පොලිසිය විසින් කරනු ලැබූ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඇය ඉතා අකීකරුව නිවෙසේ හැසිරෙන බවය.  පොලිසිය ඇය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ළමා නිවාසයේ රඳවා තැබීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

 - ඩී.ජී. සුගතපාල-