ගාල්ල කොටුවේ කොඩිගල සිට මුහුදට පනින ක්රියාවේ නිරත තරුණයන්ට එය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා විකල්ප වැඩපිළිවෙළක් හඳුන්වා දෙන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. වසර 15ක පමණ කාලයක සිට එම ස්ථානයෙන් මුහුදට පනින ක්රියාවේ නිරත වූ තරුණයන්ට පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු හේතුවෙන් පසුගිය සිකුරාදා සිට එම ක්රියාවේ නිරත වීමට නොහැකි බව වාර්තා වී තිබුණි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සෙ පළ වූ වාර්තා පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍යවරයා පුරාවිද්‍යා නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.
එහිදී අවධාරණය කෙරුණේ මෙම තරුණයන්ගේ මුහුදට පනින ක්‍රියාව සම්පුර්ණයෙන්ම නතර වී නොමැති බවයි. ඔවුන් ඉදිරිපත් කරන එක් පිම්මක් පමණක් අදාළ ස්ථානයේ ඉදි කර ඇති ගල් බැම්මක් හේතුවෙන් නතර වී ඇති බව මෙහිදී පුරාවිද්‍යා නිලධාරීන් සඳහන් කළහ. ගාලු කොටුවේ මෙම ස්ථානය කොඩිගල මුර අට්ටාලය ලෙස හඳුන්වනු ලබන බවත්, ලන්දේසි සමයේ පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයක් සහ නැව් සඳහා සංඥා සැපයීම සඳහා මෙම ස්ථානය භාවිත කර ඇති බවත් පුරාවිද්‍යා නිලධාරීහු සඳහන් කළහ. මෑතකදී එම ස්ථානයේ කළ සංරක්ෂණවලදී පැරණි ප්‍රදීපාගාරයේ පාදම හා කොඩිය රැඳ වූ ස්ථානය හමුව තිබේ. අදාළ කොඩිය රැඳවූ ස්ථානයේ ඇණ පවා මතුව ඇතැයි පුරාවිද්‍යා නිලධාරිහු පවසා සිටියහ.
තරුණයන් එක් පිම්මක් සඳහා දිව යන්නේ එම ස්ථානය හරහා බවද ඔවුහු පෙන්වා දුන්නා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් සඳහන් කළේ ලෝක බැංකු ආධාර යටතේ මෙම ස්ථානයේ සංරක්ෂණ කටයුතු සිදු කෙරෙන බවයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ තරුණයන් කීපදෙනෙකු සිදුකරන මෙම මාරක පිම්ම ලංකාවේ පමණක් නොව ලෝකයේම ජනප්‍රිය බවයි. ඒ නිසා අදාළ තරුණයන්ට එම ක්‍රියාව තවදුරටත් ආරක්ෂිතව කරගෙන යාම සඳහා විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස පුරාවිද්‍යා නිලධාරින්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
-නවෝද්‍යා පවනි -
0 Comments