gampola-nipuni-death

පියා හා බාප්පාගේ පහරදීමකින් 14 හැවිරිදි දැරියක නිවෙසේදීම මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් ගම්පොලින් වාර්තා විය.

මෙම දැරිවියගේ  බාප්පා (පියාගේ මල්ලි) ගම්පොළ අංගම්මන
ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු කොළඹ ප්‍රදේශයට යෑමට ඇති නිසා නිවෙසේ සිටින දියණිය හා
මව බලා ගැනීමට යැයි පවසා මෙම දැරිය එම නිවෙසට පසුගිය 13 වැනිදා කැඳවාගෙන ගොස් තිබිණි.

එම නිවෙසේ සිටියදී පසුගිය බදාදා දක්වාම පාසල්ද ගොස් ඇති ඇය ඉන්පසු දින දෙකක් පාසල් නොගොස් නිවාඩු ලබා ඇත.

පසුව  19 වැනිදා ඇය නැවතත් නිවෙසට රැගෙන විත් ඇති අතර  එහිදී ඇය කිහිප වරක් වමනය දමමින් විකාර ‍දොඩවමින් සිට තිබේ.

ඥාතීන්ට ඇය පවසා ඇත්තේ බාප්පා පහරදුන් බවය. ඇයට දින දෙකක් තිස්සේ කෑමට යමක් නොදුන් බවද
පවසා ඇත. ඒ අතර 21දා ඇගේ රෝගී තත්ත්වය උත්සන්න වෙමින් තිබියදී ඇය දෙවන වර නිවසේදී හිංසනයට ලක්වන්නීය. ඇය කෙඳිරි ගාමින් සිටි බැවින් ඇගේ පියා අලුයම 2ට පමණ මෙම දැරිවියට පහර දී නිවෙසින් එළියට දමා ඇත්තේ තමාට නිදා ගැනීමට
කරදරයක් යැයි පවසමිනි. එහිදී එම පියා දැරියගේ මවටද පහරදී ඇති බවත් පොලිසිය පවසයි.

පසුව 21 වැනිදා උදෑසන 8ට පමණ මෙම දැරිය අසල පිහිටි ඥාති නිවෙසකට රැගෙන ගිය පසු ඔවුන් ඇය
රෝහල්ගත කිරීමට කළ උත්සාහයටද පියා ඉඩදී නැත. දැරිය එසේ වේදනා විඳිමින් සිට දහවල් 2ට පමණ
ඇඳ මතම අවසන්   හුස්ම හෙළා තිබේ.

මින් කලබලයට පත් මව ඇතුළු ඥාතීන් දැරිය ගම්පොළ ශික්ෂණ
රෝහල වෙත රැගෙන ගියද ඇය මියගොස් සිටි බව රෝහලින් දන්වා තිබේ.
මියගොස් ඇත්තේ ගම්පොළ, මවුන් ටෙම්පල් ජනපදයේ පදිංචි උඩුදෙණිය වෙදරාලලාගේ ගෙදර නිපුණි
නුවන්තිකා බණ්ඩාර නමැති දැරියයි.
ඇය ගම්පොළ ශාන්ත ජෝශප් විද්‍යාලයේ නවය වසර පන්තියේ සිසුවියකි. ගැහැනු දරුවන් සිවු දෙනකුගෙන්
යුත් පවුලක ඇය  දෙවැනියායි.

ගම්පොළ පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු ගම්පොළ මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු
ශි්‍රනිත් විජේසේකර මහතා එම ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්විය. එහිදී
මහෙස්ත්‍රාත්වරයා පවසා සිටියේ පැය කිහිපයකට පෙර දැරිය රෝහල් ගත කළා නම් ඇය බේරා ගැනීමට
තිබූ බවය.
සැකකාර පියා හා බාප්පා අත්අඩංගුවට ගන්නා ලෙස මෙහිදී දිසා විනිසුරුවරයා පොලිසියට නියෝග කළේය.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (22දා) කිරීමට නියමිතව තිබිණි. සැකකාර 46 හැවිරිදි පියා
හා 42 හැවිරිදි බාප්පා පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.



ගම්පොළ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ශි්‍රයන්ත පීරිස්, පොලිස් අධිකාරි කමල් ආරියවංශ,
සහකාර පොලිස් අධිකාරි විපුල තෙන්නකෝන් යන මහත්වරුන්ගේ උපදෙස් මත ගම්පොළ මූලස්ථාන පොලිසියේ
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු, අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන
පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කළහ.

ගම්පොළ - මාධව බණ්ඩාර