gampola-online-love

ඔන්ලයින් පාඩම් සදහා දෙමවුපියන් රැගෙන දුන් ජංගම දුරකථනය රුපියල් හත්දහසකට විකුණා අයියාගේ හැඳුනුම්පතින් නුවරඑළිය හෝටල් කාමරයක දින දෙකක් පුරා බාලවයස්කාරියක් තබාගත් පහළොස් හැවිරිදි පාසල් සිසුවකු එළඹෙන (29දා) දක්වා උඩුනුවර වෙලම්බොඩ ළමා රැදවුම් මධ්‍යස්ථානයේ තබන ලෙස ගම්පොළ මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ශිනිත් විජේසේකර මහතා පෙරේදා (22දා) නියම කළේය. 

ගම්පොළ නගරයේ ප්‍රසිද්ධ පාසලක 10 වසර සිසුවකු නගරයේ තවත් බාලිකා පාසලක 10 වසර ශිෂ්‍යාවක් මෙසේ හෝටල් කාමරයකට රැගෙන ගොස් ඇති බවද පොලීසිය පැවැසීය. මොවුන් මාස 8ක පෙම්වතුන් වන අතර පසුගිය (19) අතිරේක පත්තියකට යන බව පවසා දෙදෙනාම නාවලපිටිය ප්‍රදේශයේ දිය ඇල්ලකට ගොස් සවස් වන තුරු එහි කාලය ගත කර ඇත. අනතුරුව එදිනම දෙදෙනා නුවරඑළිය ප්‍රදේශයට ගොස් ඇත. මෙහිදී පාසල් සිසුවා මෙම ගමනට කලින්ම සූදානම් වී ගමනට මුදල් සොයාගෙන ඇත්තේ ඔන්ලයින් පාඩම් සඳහා දෙමවුපියන් ගෙවදුන් ජංගම දුරකතය රුපියල් 7000කට විකුණා දමමිනි. බාලවයස්කරුවන්ට හෝටල් කාමර නොදෙන බව දන්නා මොහු තමාගේ පෙනුම ඇති වැඩිමහල් සොයුරාගේ ජාතික හැදුනුම්පත සොරාගෙන ඇත්තේ එය එම හෝටල් කාමරයට ලබාදීමටය.මේ අයුරින් හෝටල් කාමරය රැගෙන මොවුන් දෙදෙනා එහි තතර වුව ද පාසල් ශිෂ්‍යයාවගේ මව එම  නිවසට නොපැමිණීම බව පවසා දියණිය අතුරුදන් බවට ගම්පොල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ අරඹා තිබියදී දින 2කට පසු එම ශිෂ්‍යාව යළි නිවසට පැමිණීම සමග පොලීසිය සිදු කළ ප්‍රශ්න කිරීමක දී මේ බව හෙළි වී තිබේ.පහළොස් හැවිරිදි මෙම දැරිය අපයෝජනයට ලක්ව ඇතැයි ඇයගෙන් හෙළිවීම නිසා මෙම සිසුවා අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු යොදා තිබිණි. වෛද්‍ය පරීක්ෂණයට එම ශිෂ්‍යයාව ගම්පොළ රෝහලට ඇතුළත් කොට ඇත.ගම්පොළ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරිහු සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

(ගම්පොළ - සුරංග දිල්ශාන්)