තාත්තා කෙනෙක් තමන්ගේ පුංචි පුතත් එක්ක ඉනි ටිකක් කපාගන්න කැලේට ගියා. තාත්තා දැක්කා ගඟක් අයින් කෝටු වගයක් තියෙනවා. ඔහු ඉන්පසු ඒ ගග අයිනෙ තිබුණු ඉනි කපන්න ගත්තා. ඔය අතරේ ඒ පුංචි පුතා තාත්තාගෙන් එක එක විදිහෙ ප්රශ්න අහන්න ගත්තා.
" තාත්තේ, ඔය කෝටු මොකටද තාත්තේ?" "පැල ඉනි වලට කොලුවා" "වැට බඳින්නද?" "ඔව් දරුවා" "කොහෙද තාත්තෙ වැට බඳින්නේ?" "ගෙදර" මේ විදිහට පුතා එක එක ප්රශ්න ඇහුවා. ඉතින් වැඩක් කරනා විට ප්රශ්න අසමින් තමන්ට කරදර කරනා බව හිතපු තාත්තාට හරියට තරහා ගියා. පුතා ආයිත් ප්රශ්න අහන්න පටන් ගත්තා. " තාත්තේ! මේ ගඟ කොහෙටද යන්නෙ?" තරහ වැඩිකමට ඔහු මෙසේ පිළිතුරු දුන්නා. "තොපේ ගෙදරට" "බොරු කියන්නෙපා" "ඔව් යෝධයෝ, තොපේ ගෙදරට.
ඔය බහුබූත කතා අහලා මගේ තරහ අවුස්සන්නේ නැතුව මං කපන කෝටු ටික ගෙනිහිල්ලා එක තැනකට දාපන්, ගෙදර ගෙනියන්න."එසේ කියමින් ඔහු කෝටු කැපීමට තවත් කැලේ ඇතුළටම රිංගා ගියා.
ගඟ ගෙදරට ගලාගෙන යනවා නම් කෝටු ගඟට දැමූවිට කෝටු ටික ගෙදරට ගිහින් දමාවි යැයි සිතූ මෝඩ පුතා පියා විසින් කපා දමන සියලුම ඉනි ටික ගගේ එක තැනකට දැම්මා. ඉනි ටික ඔක්කොම ගගේ ගහගෙන ගියා.මේ වගේ යම්කිසි පුද්ගලයකු ඉතා වෙහෙස වී කළ වැඩකින් ප්රයෝජනයක් නොලැබුණු විට "ගඟට ඉනි කැපුවා වාගෙයි" කියන පිරුළ අදද කියනු ලබනවා.
0 Comments