gas-law

ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් හා ගිනිගැනීම් නිසා උද්ගත වූ තත්ත්වයන් හේතුවෙන් මේ වනවිට දේපළ අලාභ හානි මෙන්ම මරණද වාර්තාවී ඇති පසුබිමක ලිට්‍රො හා ලාෆ්ස් ගෑස් සමාගම් දෙකට එරෙහිව පාරිභෝගිකයින්ට නඩු පැවරිය හැකි බව නීති විශාරදයෝ දන්වා සිටිති.


අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා මෙසේ කීය.

"ගෑස් බෙදාහරින ප්‍රධාන සමාගම් දෙක මගින් බෙදාහැරි ගෑස් සංයුතිය පිළිබඳ යම් ගැටලුවක් තිබෙනවා කියලා අවසාන පරීක්ෂණයේ තේරුණොත් එවැනි අවස්ථාවක අනිවාර්යයෙන්ම ඒ අයට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන්. වන්දි ලබාගැනීම සඳහා දිසා අධිකරණයේ වන්දි නඩු පැවරීමේ හැකියාවක් තිබෙනවා."




නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මෙසේ පවසයි.

"අර ආයතනයේ ප්‍රධානියෙක් කිව්ව නේ ඒගොල්ලෝ මේකේ සංයුතිය වෙනස් කළා කියලා. එතකොට ඒ
සංයුතිය වෙනස් කළේ නියම ක්‍රමවේදය ඇතුළේ නෙවෙයි නම්, ඒක නොසැලකිලිමත්ව කරලා තියෙනවා නම්,‍
එතන සාපරාධී නොසැලකිල්ලක් තියෙනවා. ඒ අනුව අපරාධ නඩුවක් පවරන්න පුළුවන්. තුවාල වෙච්ච අය සම්බන්ධයෙන් වන්දි ඉල්ලන්න ත් පුළුවන්. සිවිල් නඩුවකින් හරි දේපළ අලභහානි වෙච්ච අයට වන්දි ඉල්ලන්නත් පුළුවන්.පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට  පුළුවන් මේක සම්බන්ධයෙන් සෘජු මැදිහත්වීමක් වෙලා
අදාළ ආයතනයට විරුද්ධව නඩු පැවරීමක් කරලා ඒකෙ ලයිසන් එක නවත්තන්න.

මේකට රජය මැදිහත් වෙන්නේ නැත්නම්, ජනතාවට අනතුරක් සිද්ධ වෙනවා නම් මූලික අයිතිවාසිකම් කඩවීමක් මෙතන තියෙනවා.
මිනිස්සු ඉතා ම බරපතළ විධියට මේකෙන් පීඩාවට පත් වෙලා රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ
නැහැයි කියන පදනමේ ඉඳලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඕන නම් ඉල්ලීමක් කරන්න
අභියාචනාධිකරණයට රිට් අයැදුම්පතකුත් දාන්න පුළුවන්.‘