german-lady-missing-found

55 හැවිරිදි කලී ගුන්ෂෙල් හා 54 හැවිරිදි මාගරට් ගුන්ෂෙල් ජර්මනියේ ධනවත් අඹුසැමි යුවළකි. ඔවුන් දෙපළට එරට උසස් පාසල්හි ඉගෙනුම ලබන දරුවන් දෙදෙනෙකුද වේ. මාගරට්ගේ දෙමාපියන්ද විසුවේ ඇයගේ දරු පවුල සමඟිනි. ජර්මනියේ කුඩා නගරයක් වන ඔරිලින්ගවුසෙන්හි විසූ ඒ යුවළ ඉතාම සාමකාමී දිවිපෙවෙතක් ගත කරමින් සිටියහ.

මේ අතර මාගරට් ලංකාවේ, ගල්කිස්ස ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු හමුවීමට යැයි සැමියාට සහ දෙමාපියන්ට පවසා ශ්‍රී ලංකාවට පැමිණියාය. ඒ ඉකුත් අප්‍රේල් මස 17 වැනිදායි. ඇය ශ්‍රී ලංකාවට පැමිණ ගතවූයේ දින කීපයකි. මාගරට්ගේ පියා හිටිහැටියේම මෙලොව හැර ගියාය. අප්‍රේල් මාසයේ ම වූ සිය පියාගේ වියෝව පවුලේ අයවලුන්ට දැඩි ශෝකයක් ගෙන දුන්නේ ය. පියාගේ වියෝව දැඩි වෙහෙසක් ගෙන පවුලේ අයවලුන් මාගරට්ට ද දැන්වූහ. එහෙත් මාගරට්ගෙන් ඊට ලැබුණේ එතරම් ගණන් ගත යුතු මට්ටමේ ප්‍රතිචාරයක් නොවේ.



එලෙස දින ගණනාවක් ගතවෙමින් තිබිණි. මාගරට් ශ්‍රී ලංකාවේම විසුවාය. දිනක් මාගරට්ගේ සැමියා කලීට, බිරියගෙන් දුරකථන හඬ පටයක් ලැබෙන්නට විය. ඉන් කියැවුණේ ඇය ශ්‍රී ලංකාවේ පුද්ගල කණ්ඩායමකගේ ප්‍රාණ ඇපයට හසුවී සිටින බවකි.

එසේම මාගරට්ට දසවධ දී ඇති ආකාරයක්ද කතාබහ කිරීමටද අපහසු අයුරක්ද එම හඩ පටයෙන් මාගරට්ගේ පවුලේ උදවියට දැනෙන්නට විය. ඒ හඬ පටයෙන් කලී සහ පවුලේ උදවිය දැඩි සේ කලබලයට පත්වෙමින් මාගරට්ට අත්වී ඇති ඉරණම කුමක්ද යන්න අනාවරණය කරගැනීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටියහ.

එහෙත් කලීට, බිරිය සොයා ගැනීමට ලංකාවට ඒමටද නොහැකි තත්ත්වයක්ද උදාවී තිබුණේ ඒ දිනවල පැවැති කොරෝනා වසංගත තත්ත්වයත් සමඟිනි. ඒ අතරේ දිනක් කලීට ශ්‍රී ලංකාවෙන් දුරකථන ඇමැතුමක් ලැබුණේය. ඔහු සිතුවේ බිරිය කතා කරන බවකි. එහෙත් සිදු වූයේ නොසිතූවකි.

ඇමැතුම ගත් පුද්ගලයා පිරිමියෙකි. ඔහු කලීට තර්ජනාත්මකව පවසන්නට වූයේ බිරිය තම කණ්ඩායමක් බාරයේ සිටින බවත් ඇය නැවතත් ජර්මනියට එවිය යුතුනම් කප්පම් මුදලක් ගෙවිය යුතු බවයි. ඒ ඇමැතුමත් සමඟින් කලීට උන්හිටි තැන් අමතක වූයේය. ඉතාම සාමකාමී, නිදහස් පවුල් දිවියක් ගත කළ තම පවුලට කුමක්ද වූයේ යන්න ඔහුට සිතා ගැනීමට නොහැකි විය.

එසැණින් කලී තම බිරියට ශ්‍රී ලංකාවේදී අත්වී ඇති ඉරණම ගැන ජර්මන් පොලිසියටද පැමිණිලි කළහ. කෙසේ හෝ කලී ශ්‍රී ලංකාවේ කප්පම්කරුවන්ට මුදල් දීමට කිසිදු විටෙක උනන්දු වූයේ නැත. ජර්මනියෙන් ගිය දින සිට නොයෙක් අවස්ථාවලදී මාගරට් මෙන්ම කලීද ඇමැතුම් ගත්තත් හිටිහැටියේම මාගරට්ගේ ජංගම දුරකථනයද ක්‍රියා විරහිතව ගියාය. එය මාගරට් ගලවා ගැනීමට තිබූ අවසන් අවස්ථාවද ගිලිහී යෑමක් ලෙස කලී සිතූහ. දරුවන් දෙදෙනා ඇතුළු පවුලේ සැවොම මාගරට්ට අත්වූ ඉරණමෙන් තුෂ්ණිම්භුතව සිටියේය.

කලී මනා අධ්‍යාපනයකින් යුත් උගත්; බුද්ධිමතෙකි. ඔහුට ක්ෂණයෙන් සිහිපත් වූයේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවයි. අන්තර්ජාලයට පිවිසි ඔහු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ විද්යුත් ලිපිනය (ඊමේල්) සොයා ගත්තේය. එසැණින් කලී විසින් මෙරට පොලිස්පතිවරයා වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරන්නේ මෙලෙසිනි.

තම ජර්මන් ජාතික බිරිය ශ්‍රී ලාංකිකයකු හමුවීමට ඉකුත් අප්‍රේල් 17 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි බවත් දින කීපයක සිට ඇයගේ දුරකථනය ද විසන්ධි වී ඇති බවයි. ඒ අනුව බිරිය අතුරුදන් වී ඇති බවත් ඇයව ඝාතනය වී ඇද්ද නැතිනම් ඇයට සිදු වූයේ කුමක්ද යන්න විමර්ශනයක් කොට සොයා දෙන ලෙසයි.

විද්යුත් තැපෑල මඟින් එකී පැමිණිල්ල ඉකුත් දිනෙක ඉදිරිපත් කර තිබුණේ ජර්මන් ජාතික කලී ගුන්ෂෙල්ය. කෙටි කලකදී එ් විමර්ශනය සාර්ථක ප්‍රතිඵල අත්කරගත්තේය.



 එම පැමිණිල්ලෙහි මාගරට්ගේ බොහෝ තොරතුරු සඳහන් කරමින් උස, මහත, පැහැය, අංග ලක්ෂණ මෙන්ම ඇය ශ්‍රී ලංකාවේ හමුවීමට පැමිණි ගල්කිස්සේ ශ්‍රී ලාංකිකයකු ගැන ද සඳහන් කෙරිණි. ඒ සමඟ ඇයගේ ඡායාරූප කිහිපයක් ද අමුණා තිබිණි.

අන්තර්ජාතිකවද ආන්දෝලනයකට තුඩු දෙන එම පැමිණිල්ල පිළිබඳව පොලිස්පතිවරයාගේ ද දැඩි අවධානය යොමු විණි. පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න විසින් එම පැමිණිල්ල යොමු කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ඒ. තිලකරත්න වෙතයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් එම පැමිණිල්ල මීට සති දෙකකට පමණ පෙරදී යොමු කෙරුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්තගේ ප්‍රධානත්වයෙන් යුත් මිනීමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙතයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙවැනි අපරාධ විමර්ශනයට අතිදක්ෂයෙකි. වසර තුනකට පමණ පෙරදී ඝාතනය වූ හලාවත කෝටිපති ඉංජිනේරු සමන් විජේසිරිගේ ඝාතනයේ සුලමුල ද ඉකුත් සැප්තැම්බර් මාසයේදී අනාවරණය කරගත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්තගේ උපදෙස් මත ඒ කොට්ඨාසයේ නිලධාරින් විසිනි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් මෙකී ආන්දෝලනාත්මක පැමිණිල්ල විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කෙරිණි. එකී විමර්ශන නිලධාරිහු කඩිනම් විමර්ශනයකින් මාගරට්ට සිදු වූයේ කුමක්ද යන්න අනාවරණය කරගැනීමට මුහුණ දුන් උභතෝකෝටික ගැටලු රැසක් විය.

මුලින්ම ඊමේල් පැමිණිල්ලේ සඳහන් ඇය මෙරටදී හමුවීමට පැමිණි ලාංකිකයාගේ නම සහ ලිපිනය සොයා ගියද එවැනි නමක් හෝ ලිපිනයක් විමර්ශන නිලධාරින්ට සොයාගත නොහැකි වූහ. ඉන් ගම්‍ය වූයේ ඇය කිසියම් ‘ගේම‘කට මෙරටට පැමිණ ඇති බවයි.

අනතුරුව එකී ජර්මන් කත මෙරටින් පලා ගොස් ඇද්ද යන්න අනාවරණය කරගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පරීක්ෂාවක් ද සිදු කෙරිණි. එහිදී හෙළි වූයේ ඇය ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් නැති බවයි.

කාන්තාව මෙරට කිසියම් ප්‍රදේශයක සිටින බව අනාවරණය වීමත් සමඟ ඊමේල් පැමිණිල්ල සමඟ එවා තිබූ ඇයගේ ඡායාරූප ඔස්සේ තොරතුරුකරුවන්ට ලබා දෙමින් සූක්ෂ්ම විමර්ශනයක් සිදු කළහ. ඒ අනුව දිනක් විමර්ශන නිලධාරින්ට හෝඩුවාවක් ලැබුණේ එම රුවට සමාන කාන්තාවක් මීගමුව ප්‍රදේශයේ රැඳී සිටින බවයි.

අනතුරුව එම කාන්තාව පිළිබඳව දින ගණනාවක් අවේක්ෂණ රාජකාරියේ නිරත වෙමින් ඇය ගැන විමර්ශන සිදු කළහ. පසුව පොලිස් නිලධාරීහු ඇයගෙන් ප්‍රශ්න කිරීමත් සමඟ හෙළි වූයේ ඇය විමර්ශන නිලධාරින් සොයමින් සිටි මාගරට් ගුන්ෂෙල් නමැති ජර්මන් කාන්තාව බවයි.

ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරුණේ ජර්මනියෙන් පලාවිත් ශ්‍රී ලංකාවේ විසීම පිළිබඳවයි. ඉන් අනාවරණය වූයේ මාගරට් ශ්‍රී ලාංකිකයකු සමඟ මීගමුවේ වෙසෙන බවත් ඇය ජර්මනියට යාමට කැමැත්තක් නොමැති බවත් ය. මාගරට් හට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන එම පුද්ගලයා හමුවී ඇත්තේ එංගලන්තයේදියි. ශ්‍රී ලාංකිකයා මෙන්ම මාගරට්ද කලක් එංගලන්තයේ වාසය කර තිබිණි. අනතුරුව දෙදෙනා අන්තර්ජාලය මඟින් කලක් ඇසුරු කොට එකී සබඳතාව මත මාගරට් ශ්‍රී ලංකාවට පැමිණියාය.



මාගරට් සහ ශ්‍රී ලාංකිකයාගෙන් ප්‍රකාශ සටහන් කරගත් විමර්ශන නිලධාරිහු යම් හෙයකින් මාගරට් නැවත ශ්‍රී ලංකාවෙන් පිටව යන්නේ නම් වහා පොලිසිය දැනුවත් කරන ලෙසට උපදෙස් දුන්හ. වැඩිහිටි යුවළක්ද වන හෙයින් එම යුවළ හට පොලිසියට කිසිදු බලපෑමක් කළ නොහැකි බව උසස් පොලිස් නිලධාරියෙක් අපට කීවේය.

ජර්මන් කතක් මෙරටදී පැහැරගෙන ගොස් මරා දමා ඇතැයි යන උපකල්පනය මත ශ්‍රී ලංකාවට අන්තර්ජාතිකවද අවමානයක් ගෙන දීමට වෙර දැරූ සිදුවීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ගේ සූක්ෂ්ම විමර්ශනයකින් සති දෙකක් වැනි කෙටි කලකදී එහි අගමුල අනාවරණය කරගත හැකි වීම විශේෂත්වයකි.

එම පැමිණිල්ල ඉදිරිපත් කළ කලී ගුන්ෂෙල් පොලිස්පතිවරයා වෙත යොමුකර තිබූ විමර්ශනයේ සාර්ථකත්වය පිළිබඳ ස්තූති පූර්වක ප්‍රශංසනාත්මක විද්යුත් ලිපියේ මෙවැන්නක්ද සඳහන්කර තිබුණේය.

“මම හිතුවේ මගේ බිරිය මරලා දාලා කියලා. නමුත් ඇය ජීවත්ව සිටින බව සොයා දුන්නා. එම නිසා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කළ කාර්යභාරය බොහෝ අගය කරනවා. ඇය නැවත ජර්මනියට ඒමට අකැමැති කුමක් හෝ මානසික අවුලක් මතයි. ඇයගේ සිතුවිලි සියල්ල කවුරුන් හෝ වෙනස් කරලා. ඇය නැවත ජර්මනියට නොපැමිණීම ගැන අපි සියලු දෙනාම දැඩි සේ දුකට මෙන්ම කම්පාවට පත්ව සිටිනවා...“

වසර 155ක පමණ අතීතයකට හිමිකම් කියන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ගේ දක්ෂතා ගැන අන්තර්ජාතිකවද කතාබහට ලක්වූ අවස්ථා එමටය. එලෙස විදෙස් ජාතිකයකු කළ විමර්ශනයක් සාර්ථකව නිම කිරීමට පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීහු සමත් වූහ.

(අමිල මලවිසූරිය)