gnasara-uduwe-kirulapana-dammawijaya

පසුගිය සතිය පුරා අන්තර්ජාලය තුළ සැරිසැරූ හඬපට කිහිපයකින් ප්‍රකාශ වුනේ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමියන් වෙත නොසරුප් වදන් සහිතව බැණ වදින ආකාරයයි.

මෙම හඬ පට කුඩා දරුවන්ට වැරදි ආදර්ශ  මෙන්ම අන් අයට සංඝ ශාසනය ගැන වැරදි වැටහීම් ලබාදිය හැකි බැවින් බොහෝ වෙබ් අඩවි හරහා ඒවා ප්‍රචාරය නොකළේය. නමුත් ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා තුළ විවිධ ආකාරයෙන් ප්‍රචාරය විය.


එලියට ආ හඩ පට සියල්ල විමසා බැලීමේදී පෙනී ගියේ වඩාත් ආන්දෝලනය ඇති කළ හඩ පට තුළ තවමත් තරුණ වයසේ සිටින කිරුළපන ධම්මවිජය හිමියන් හැම අවස්ථාවකට ඉවසිල්ලෙන් කතා කරන අයුරුත්  ගලගොඩ අත්අත්තේ ඥානසාර හිමි නොඉවසිලිවන්තව හා තර්ජනාත්මක අයුරින් වදන් භාවිත කරන අයුරුය.
මේවා ඇසීමෙන් පසු සමාජ මාධ්‍ය තුළ පළවූ විවේචන කියවා බැලීමේදී සියයට අනූනමයක්ම ඥානසාර හිමියන්ට දොස්පවරා කතා කර තිබුණි. එසේම කිරුළපන ධම්මවිජය හිමියන් හමුදා සේවය අතැර ශාසනයට සම්බන්ධවූ අයුරු ගැන විස්තර මෙන්ම එහිමියන්ගේ ගුණ අගයා තවත් පෝස්ටුද පළවිය. ඒ අතරම මේ දිනවල එක් රටක් එක් නීතියක් කාර්ය සාධක බලකාය හා සම්බන්ධිත ඥාණසාර හිමියන් ඉලක්කවූ මෙම හඩ පටය නිසා එහිමියන් කෙරේ විශ්වාසයක් නැති බවට විවිධ විවේචන පැනනැගිණි.
පාර්ලිමේන්තුවේදී පවා මේ හඩ පට ගැන කතාබහක් ඇතිවූ අතර මන්ත්‍රීනී තලතා අතුකෝරල මේ ගැන සොයා බලන ලෙස ඉල්ලා සිටියාය.
 ඥානසාර හිමි විසින් මිණිපුර අමා ශාන්ති තපෝවන ශාඛා විහාරාධිපති පූජ්‍ය රතන හිමියන්ටද බැණ වදින අයුරු තවත් හඩ පටයකින් එලියට ආවේය. ඥානසාර හිමියන් සහ මාධ්‍යවේදී චාපා බණ්ඩාර මහතා අතර ඇතිවූ බහින් බස්වීමක්ද මීට කලකට ඉහත ඥානසාර හිමියන් අධිවේගී මාර්ගයේ ආරක්ෂකයින් අමතා කළ අසභ්‍ය වදන් හුවමාරුවක්ද ඒ සමගම සමාජ මාධ්‍ය තුළ රැල්ලක් මෙන් පළවිය.


මේ අතර අද වාර්තාවූයේ මේ සියල්ල මැද ඥානසාර හිමියන් බේරාගන්නට කතාකරන උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ අදහසකි.
'මේ දවස්වල යන හඩ පටය ගැන මටත් දායකවරු කිව්වා. ලොව තුරා බුදුන් වැඩසිටිය කාලේ පෙලෙන්දිවච්චි කියලා රහතුන් වහන්සේ නමක් වැඩ හිටියා. උන් වහන්සෙට තිබුණ සංසාර පුරුද්ද තමා පිරිසට ආමන්ත්‍රණය කරන්නෙ ඉතාම සැරපරුෂ ආකාරයට.
‘මෙහෙ වර.. වසලයා.. පල.. තෝ ආදී ආකාරයට...හැබැයි මේ වචන පරිහරණය කරද්දි සමහර විට සමාජයේ දෝෂ දර්ශනයට ලක්වුණා. ඒත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ඒ මහරහතන් වහන්සේ වැරදි කරන අයට සැරින් කථාකරල තදින් යහමගට ගන්න එක තමා ඒ රහතන් වහන්සේ සසර පුරුද්දට කරල තිබෙන කුසලය‘
මේක ආදරෙන් සැර කිරීමක් තදින් කතා කිරීමක් මේක යම් ස්වාමිවහන්සෙ නමකගෙ අඩුපාඩුවක් දැකලා සම්බුද්ධ ශාසනේට චෝදනා කරන එක හොඳ දෙයක් නෙමේ.. බොහෝ වෙලාවට මේ දේශපාලන මත සමග එක්වෙලා ෆේස්බුක් හරහා පහරදීමක් තමයි මෙතැන වෙන්නෙ..
මේ ෆේස් බුක් යන කාරණා සත්‍ය නොවේ.. ඒවාට පියවර ගන්නැයි මං ඉල්ලා සිටිනවා‘