god-in-buddhism

ඔබ මරණින් මතු දෙලොව උපදින්නට කැමැති නම් ඒ සඳහා ද අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් ඇත. අප එසේ දෙව්ලොව උපදින්නට ප්‍රාර්ථනා කළ යුත්තේ එහි සිට ධර්ම මාර්ගයේ ඉතිරිය සම්පූර්ණ කර ගැනීමේ තිර අදිටනින්. ඔබට දේවත්වයට පත්වීමට මඟ පෙන්වා දීම මේ ලිපියේ අරමුණයි. ඇත්ත වශයෙන් ම එසේ වීමට නම් පුද්ගල මනසෙහි දිව්‍යත්වය ගොඩනැගිය යුතු යි.  නො එසේ නම් විඤ්ඤාණයෙහි කිසියම් පාරිශුද්ධත්වයක් ඇති විය යුතු යි. ශීල, සමාධි, ප්‍රඥා නිරතුරුව ම වර්ධනය කරගන්නා මෙන් අවධාරණය කෙරෙන්නේ ඒ නිස යි. මේ චිත්ත පාරිශුද්ධිය සෘජුව ම පුද්ගලයකු ගේ ජීවිතයට බලපානවා. එවිට එවන් කෙනකු මේ භෞතික ශරීරයත්, ඒ ශරීරය හා බැඳී ඇති කීර්තිය,

ධනය ආදිය අත්හර දමනවා.

මෙයින් ඇතිවන ඵල විපාක මරණින් මතු ඔහු රැගෙන යනවා.දැන් මං සෑහෙන තරම් ආච්චිලා සමග සාකච්ඡා කරලා තිබෙනවා ඔවුන් ගේ ජීවිත ගැන. ඔවුන් තම ජීවිත කාලයේ දී සපුරා ගත් පින් ගැන මා අසා තිබෙනවා. දාන දීම, වන්දනා ගමන් යෑම, කඨින පින්කම්, සිල් රැකීම කළා යි ඔවුන් පවසනවා. මා එවිට අසනවා එහෙම නම් ඔබලා මරණින් මතු දෙව්ලොව යාවි නේද කියා. අපොයි අපි නම් කැමැති නැහැ කියා ඒ අය හැමදෙනා ම වගේ කියනවා. ඒ වගේ වෙලාවට මා ඇසුවා ම ඇයි ඔබලා දෙව්ලොව යෑමට මෙතරම් අකැමැති කියා ඒ අය කියනවා අනේ හාමුදුරුවන්නේ, එතකොට කොහොමද පින් කරන්නේ කියලා. ඒ කියන්නේ මත ප්‍රචලිත ව තිබෙනවා දෙවියන් ය කියන්නේ පින් සපුරාගත නො හැකි අනුන්ගෙන් යැපෙන කිසියම් ආබාධිත සත්ව කොට්ඨාශයක් වාගේ ය කියා. පිනක් උපදවා ගත නො හැකි, දුර්වල පිරිසක් ය කියන වැරැදි මතයේ ම හිඳිමින් මේ අය ඒ දෙවියන් පසුපස මත් යනවා පූජා වට්ටි උස්සාගෙන . මෙයින් අදහස් වන්නේ දෙවියන් යනු කවුරුන් ද යන වගත් මේ අය නිරවුල් ව අවබෝධ කරගෙන නැති බව යි.

දෙවියන් ගැන හෝ දෙව්ලොවට යා හැකි ආකාරය ගැන හෝ කිසිදු අවබෝධයකින් තොර මෙම තත්වය නිසා ම තමයි වත්මන් මනුෂ්‍යයන් මියැදුණු විට ඒ අය ගේ ආත්ම ගරුත්වය, තරාතිරම ගැන පවා නො සලකා ඒ අය වෙනුවෙන් පෙරේත ගොටුවක් තබන්නේ.අනිත් අතට මේ පෙරේත ගොටුවට මල් සුවඳ දුම් තියනවා නම් ඒත් කමක් නෑ. ඒකට කියන්නේ බීඩි, සුරුට්ටු වගේ දේවල්. සමහර තැන්වල මත්පැන් වගේ ද්‍රව්‍ය. මේ විදියේ පහත් ම පහත් දේ එක්කොට මියැදුණු පුද්ගලයා වෙනුවෙන් එළිමහනක තැන්පත් කරනවා. මෙහෙම කරන්නේ මේ පුද්ගලයා පෙරේතයෙක් වුණාවත් ද යන සැකයෙන් ම යි. මෙයින් අපට පෙනෙනවා දෙවියන්ට ගැරහීමේ විපාක නිසා වත්මන් මනුෂ්‍යයා පත් ව ඇති තත්වය. මා මෙයින් අදහස් කරන්නේ දෙවියන්ට ගැරහීම නිසා මිනිසාට මෙවැනි තත්ත්වයකට පත්වන්නට සිදුවනවා ය කියන කරුණ නෙවෙයි. මූලික වශයෙන් වත්මන් මනුෂ්‍යයා වෙත පවතින දෘෂ්ටියේ වරදයි මීට මූලික කාරණාව.

බුද්ධ දේශනාවල මේ කරුණ ගැන සඳහන් වන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ දෙවියන් ගේත් මිනිසුන් ගේත් ශාස්තෘන් වහන්සේ නේ. සත්ථා දේවමනුස්සානං ගුණයයි ඒ. අප ගේ ශාස්තෘන් වහන්සේ ගේ ධර්මය හේතුවෙන් මාර්ගඵල ලැබුවේ මිනිසුන්, දෙවියන් යන දෙකොට්ඨාශය යි. අදටත් ඒ ධර්මය ඒ විදියට ම මේ දෙකොට්ඨාශය විෂයෙහි බලපැවැත්වෙනවා. ඒත් අද තිබෙන අර්බුදය බුද්ධ කාලයේ දී වාගේ නො වේ මෙකල දෙවියන් අතරට යෑමට මනුෂ්‍යයකුට ඇති ඉඩකඩ කෙතරම් ද කියන කාරණාව යි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මිනිසකුට දෙවියන් වෙත යා හැකි වන්නේ කරුණු පහක් සංවර්ධනය කර ගැනීමෙන් බව. ඒ තමයි ශ්‍රද්ධාව, ශීලය, දහම් දැනුම, ත්‍යාගය, ප්‍රඥාව යන කරුණු. මේ සාධක වර්ධනය කරගත් මනුෂ්‍යයා ඒ ගුණාත්මක චින්තනය මත පිහිටා තමන් මරණින් මතු දෙවියන් අතර උපදිනවා යැයි සිතිය යුතු යි. මෙසේ වූ විට මේ පුද්ගලයා දිව්‍ය විමානයක උපදින්නට පුළුවන්.



අංගුත්තර නිකායේ සෝතානුදත සූත්‍රයේ මේ කරුණු ඉතා පැහැදිලි ලෙස විස්තර කෙරෙනවා. මේ කරුණු පහ එහි දක්වා තිබෙන්නේ සේඛ බල කියා යි. මෙවැනි සේඛ බල වර්ධනය කරගත් පුද්ගලයකු මරණින් මතු දෙව්ලොව ඉපදී සිය ධර්ම මාර්ගයේ ඉතිරිය සම්පූර්ණ කර ගන්නේ කෙසේ ද? දිව්‍ය විමානයක සිටින මෙවන් දෙවි කෙනකුට අනෙක් දෙවිවරුන් ඇවිත් පවසනවා අපේ දෙව්ලොවට වැඩම කොට තවත් මාර්ගඵල අතින් ඉහළින් සිටින දෙවි කෙනෙකුත් ධර්මය දේශනා කරනවා ය, අපිත් ඒ ධර්ම ශ්‍රවණයට යමු ය ආදී වශයෙන්. ඇතැම් විට මේ සේඛ බල වර්ධනය කරගත් මේ දෙවියන් දිව්‍ය සැපය විඳිමින් සිටිනා විට තමා තුළ ධර්මය වැඩෙන පින ඇති බව අමතකව ගොස් තිබෙනවා වන්නට පුළුවන්. ඒත් අර විදියට දෙවියන්ගෙන් ධර්මය අසන්නට යෙදුණා ම ඒ දෙවියන්ට සිහිපත් වෙනවා මෙය නම් මා මීට පෙර ඇසූ ධර්මයක් ම යි ආදී ලෙස. අන්න එවිට මේ දෙවියන් ගේ සිත විශේෂගාමී වෙනවා. එහි අර්ථය නම් ආර්ය සත්‍ය කරා සිත යොමු වීම යි. තවත් විටෙක මෙසේ මාර්ගඵලලාභී දෙවියන් ගේ මැදිහත්වීමක් සිදු නොවන අවස්ථාත් තිබෙන්නට පුළුවන්. එවිට ඇතැම් විට වෙනත් දෙවියන් මේ දෙවියන් ගෙන් අසනවා ඔබ කොහි සිට ද මේ දෙව් විමනට පැමිණියේ ආදී ප්‍රන. එවිට මේ දෙවියන් කියා සිටිනවා මිනිස් ලොව සිට පැමිණි බව. එසේ නම් ඔබ ඒ සඳහා කළ පින කුමක් ද කියා විමසනවා. අන්න එවිට තමා කළ පින්කම් මේ දෙවියන්ට සිහිපත් වෙනවා.

ශීල, භාවනා, ප්‍රඥා, ගුණධර්ම තමන් වැදූ හැටි, දන් දුන් හැටි සිහිපත් වෙනවා. ඒවා යළි වැඩෙන්නට ගන්නවා. මෙන්න මෙවිට ඒ සිත විශේෂගාමී වෙනවා.  මේ දෙකරුණ ම සිදු නො වන විටෙක මේ දෙවියන් ම සිය නුවණින් විමසන්නට පටන් ගන්නවා. මේ අවස්ථාව පෙන්වා දී තිබෙන්නේ මේ ආකාරයටයි. අපි හිතමු යම් පුද්ගලයෙක් වනාන්තරයක අතරමං වුණා ය කියලා. ගමක් පෙනෙන තෙක් මානයකවත් නැහැ. මෙන්න මේ වෙලාවේ මේ කෙනාට ඈතකින් ඇහෙනවා බෙර හඬක්. මේ පුද්ගලයාට ගමේ දී බෙරහඬ පුරුදු ව තිබුණා නම්, මේ නිකම් ම නිකං සතෙක් කෑ ගසන ශබ්දයක් ය කියා සිතන්නේ නැහැ. සිංහයකු ගේ හෝ වෙනත් භයානක සතකු ගේ ගෙරවිල්ලක් සේ මේ ශබ්දය හඳුනා ගන්නේත් නැහැ. මේ පුද්ගලයාට හැකි වෙනවා මෙය නම් බෙර හඬක් ම යි ආදී වශයෙන් මේ හඬ පැහැදිලි ලෙසට ම හඳුනා ගැනීමට.මොහුට දැන් පුළුවන් වෙනවා මේ හඬ ඇසෙනා දිශාවට ම ගමන් කරන්නට. අන්න ඒ ආකාරයට මොහු සිය අතරමං වූ ජීවිතය නිමාකොට ගම්මානයක් වෙත ළං වෙනවා. මේ විදියට ම යි දිව්‍ය සම්පත්තියෙන් උදම් වී සිටින විටෙක පවා දෙවි කෙනකුට ධර්මය ඇසී හෝ සිහිපත් වී මෙය නිවැරැදි ව හඳුනාගෙන ඒ කරා ම යෑම සිදුවන්නේ .

මෙය දෙවියන් අතර ඉපදීමෙන් ලබන ලාභයක්. ඒත් වත්මන් මනුෂ්‍යයා සිතන්නේ පින් සපුරා ගැනීමට මිනිස් ජීවිතයක් ම ලබා ගත යුතු යි කියා යි. දැන් බලන්න වත්මන් මනුෂ්‍යයා මියැදුණු පසු ඔහු හඳුන්වා දෙන්නේ (පැන් වඩන අවස්ථාවේ දී) හිස් බඳුනක් ලෙසට යි. පින කරන පුද්ගලයන් පැන් පිරි බඳුනකට සම කොට දක්වනවා. පැන් පිරි බඳුන තමයි අර හිස් බඳුන පුරවන්නේ . ඊළඟට මේ පිරුණු බඳුන ආයෙමත් හිස් බඳුනක් වෙනවා ඒ කෙනා මියැදුණු විට. මෙන්න මේ විදියට පින ගැන වුණත් කිසි ම අවබෝධයකින් තොර ව යන ගමනක් තමයි දැන් මනුෂ්‍යයා ඉදිරියේ තිබෙන්නේ. ඕනෑම පුද්ගලයකුට මෙලොව හා පරලොව ජීවිත පිළිබඳ මනා සැලසුම් තිබිය යුතු යි. පරලොව ගැන මනා අවබෝධයකින් යුතුව මෙලොව ජීවිතය සැලසුම් කිරීම තමයි වැදගත් ම පිළිවෙත වන්නේ. දෙවියන් අතර ඉපදීමෙන් ධර්මය අවබෝධ කිරිමේ අවස්ථාව අත් හැරෙනවා ය යන මිථ්‍යා මතයෙන් බැහැර ව, ඒ චාගේ ම මිනිස් ජීවිතයේ දී ධර්මය අවබෝධයට කැප වී කටයුතු කර මේ ගෞතම බුද්ධ ශාසනයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට සියලු දෙනා ම උත්සුක විය යුතුයි.තවත් අදහසක් තමයි දෙව් ලොවට පැමිණි විට ඒ දිව්‍ය සම්පත්තියෙන් වසග වේවි ද යන කාරණාව. එක් අතකට දැන් බැලු බැලූ අත පෙනෙන්නේ මිනිස් සම්පත්තියෙන් වසඟ වූ මිනිසුන්.

මෙයින් මොන තරම් වසග වුණා ද කියතහොත් ධර්ම කථාවක් කිරීම පවා  ඇකැප බවට මිනිසුන් අතර ම මත පවතිනවා. මිනිස් ලොව පවතින මේ හීන සම්පත්තීන්ට මිනිසා මෙසේ වසග ව සිටිනවා නම්, දෙවියන් ගේ සැපයේ අහලකටවත් සමීප වන්නට බැරි සැපයකින් මෙසේ අන්ධ වූ මිනිසා මේ විදියට කල්පනා කිරීම සාධාරණ තමා. ඒත් වැදගත් ම කාරණාව මේ යි. මේ මිනිස් ලොව ඇතැම් මිනිසුන් සිටිනවා ද ඉතා සුවපහසු ජීවිත ගත කරමින් සිටින, එහෙත් එයින් වසගව නොයා කිසියම් විමුක්තියක් සොයන? අන්න ඒ ආකාරයට ම යි දෙවියන් අතරත්, තමන් දෙව්සුව විඳින අතරේ ඒ අය විමුක්තිය සොයනවා. එවැනි දෙවියන් දිව්‍ය සභාවල දී එක් වෙනවා. මේ සම්බන්ධ ඉතා වටිනා දේශනාවක් තිබෙනවා ජනවසභ සූත්‍රයේ. බිම්බිසාර රජු මරණින් මතු දෙවි කෙනකු බවට පත් වුණා. ඒ තමයි ජනවසභ. ඉතින් මේ ජනවසභ ආවා බුදුරජාණන් වහන්සේ මුණගැසීමට. එසේ ඇවිත් මෙසේ කියනවා : ‘ස්වාමිනී, පොහොය දිනවල දී බ්‍රහ්ම ලොවින් සකුමාර නමැති බ්‍රහ්මරාජයා අප වෙත පැමිණෙනවා. සතර වරම් දෙවිවරුන්, ශක්‍ර දෙවියන් ප්‍රමුඛ තවුතිසාවේ දෙවියන්ට සතර සතිපට්ඨානය, සමාධිය වඩන හැටි වාගේ ම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සමාධිය තව දුරටත් වර්ධනය කරනා හැටි පහදා දෙනවා. සද්ධිපාද වඩන හැටිත් කියා දෙනවා. අප ඒවා හොඳින් ඉගෙන ගෙන ප්‍රගුණ කරනවා.දැන් බලන්න මොනතරම් අර්ථවත් වැඩ පිළිවෙළක් ද? මිනිස් ලොව මිනිසාට මේ දේ ගැන උගන්වන්නට ඉන්නේ . කවුද?

වත්මන් මිනිසා හැමවිට ම ඉල්ලා සිටින්නේ ලස්සන  ජීවිතයක් පමණ යි. මේ සඳහා උපදෙස් පමණ යි. ඒ ලස්සනට ජීවත් වීමේ ම කොටසක් තමයි ධර්මයේ හැසිරිම. ඒත් මේ ගැන කිසි ම අවබෝධයක් නැහැ. මේ නිසා ම යි මිනිස් ජීවිත නිතර ම අසාර්ථකත්වයට බර වී පවතින්නේ . ඉතින් මේ විදියට කාමයන්ට බර ව අසාර්ථක ජීවිත ගත කරන මිනිසා මෙවැනි ස්වභාවයක් දෙවියන් තුළත් පවතිනවා යැයි සැක උපදවාගෙන සිටිනවා.

ඒත් දෙවියන් අතර කල්‍යාණ මිත්‍රයන් සිටිනවා ය කියන කරුණ මිනිසුන් දන්නේ නැහැ. හැබැයි ඉතා පැහැදිලි යි වත්මන් මිනිසාට මේ විමුක්ති මාර්ගයේ ගමන් කිරීම පහසු කරවීම පිණිස සදෙව් ලොවෙන් එක් තැනක උපත ලබන්නට ඊට අදාළ ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීම ඉතා සුදුසු බව. මෙය පහසු කටයුත්තක් නම් නො වේ. පෙර අප සඳහන් කළ සේඛ බල තමා තුළ ඉතා ප්‍රබල ලෙස වර්ධනය කරගෙන, සැමවිට ම කුසල් සිත් පවත්වාගෙන, මනුෂ්‍ය කාමයන්ට ඇති ඇල්ම අත්හැර, දෙවියන් අතර හිත පිහිටුවාගෙන, එසේ උපදින්නේ තමා ගේ ධර්ම මාර්ගය තව දුරටත් පවත්වා වැඩිදියුණු කර ගැනීමට ය යන වග අවබෝධ කරගෙන සිටිනවා නම්, යම්කිසි විදියකින් අවස්ථාවක් ලබා ගත හැකි යි. එහෙම නොවුණා ම පුද්ගලයකුට බොහෝ විට හිමිවන්නේ දුක්ඛිත ආත්මභාවයන් ම යි. දැන් පෙනෙන්නට තිබෙන්නේ මරණයට පත්වන බහුතරය ප්‍රේත ලෝක, භූත, තිරිසන් හෝ නිරය වෙත ගමන් කරන ආකාරය යි. ලක්‍ෂයයකට එක් අයෙක්වත් දෙවියන් අතර උපදිනවා දැ යි සැකයි. මෙතැන දී තවත් ප්‍රශ්නයක් මතු විය හැකියි නේද? එසේනම් මේ හැටි මිනිසුන් කොයින් දැ යි කියා. මෙයට හේතුව  සත්වයා ගේ ඇති බහුලත්වය යි. දැන් බලන්න මිනිස් ලොව සිටිනවානම් කිසියම් තිරිසන් සතුන් ප්‍රමාණයක් ඒ ප්‍රමාණය කිසිසේත් ම ගිණිය හැකි ද? බැහැ. ගණනය කළ නො හැකි තරමේ කුහුඹින් ප්‍රමාණයක් මේ ලෝකයේ සිටිනවා. පනුවන්, කුඩා කෘමින් ගැන බැලුවත් තත්වය මෙය යි.

මෙවන් පසුබිමක දී මනුෂ්‍යයන් පමණක් ගණනය කිරීමට දැන් හැකියාව ලැබී තිබෙනවා. ඊට අමතරව අලියන් වැනි විශාල සතුන් පමණයි ගණනය කර බලා තිබෙන්නේ.  මෙවන් පසුබිමක දී යි අපට සිතෙන්නේ මිනිස් ජනගහණය අති විශාල බව. එහෙත් ධර්මයේ එක් තැනක සඳහන් ව පවතිනවා මෙත්‍රී බුදුන් බුදුවන යුගය වන විට. ලෝක ජනගහණය අවීචිය සේ වැඩිවීමට නියමිත බව. ඒ කියන්නේ වැඩි ම ජනගහනයක් සිටින්නේ අවිචි නිරයේ. අචින්නය වන කර්ම විපාක මත සත්ව විශේෂ මෙසේ එක් එක් කලට එක් එක් ආකාරවලින් උපත ලබනවා. තවත් එක් තැනක පැහැදිලි ව සඳහන් වෙනවා මෙලොව ධර්මය බලවත් ව පවතින කාලවල දී සැමවිට ම දිව්‍ය ලෝකයේ දිව්‍ය පිරිස් වර්ධනය වෙන බවත් අසුර ලොව පිරිහී යන බවත් ගැන දෙව් ලොව දෙවියන් සාකච්ඡා පවත්වන හැටි.එක් එක් යුගවල දී දුගතිගාමී හා සුගතිගාමී වන පිරිස් මෙසේ අඩු වැඩි වෙනවා. බුද්ධ ශාසනය පිරිහෙන යුගයක දෙවියන් අතරට යන පිරිසක් නැහැ. වර්තමානයේ දීත් ඒ පිරිස නැති තරම්. දැන් මියැදෙන අතිමහත් බහුතරය දුගතිගාමී වන හැටි විශේෂ වශයෙන් සිත දියුණු කළ යෝගීන්ට පෙනෙනවා. වත්මන් ලෝකයේ මියැදෙන මිනිසුන් යළි මනුෂ්‍යයන් අතරට එන්නේ ඉතා කලාතුරකින්. ඊටත් වඩා අඩු වශයෙන් තමයි දෙව්ලොව උපදින්නේ. එමනිසා මේ ඉදිරිපත් කළ කරුණුවල වැදගත් බව ඔබට හොඳින් ම වැටහෙනවා ඇති.ඔබ මනුෂ්‍යයන්ට ආදරය කරන්නකු නම්, මේ ධර්මය ම ඒ අයට ඉගැන්විය යුතු යි කියා මා අදහස් කරන්නේ ඒක යි.

- කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි
(උපුටන සටහන - තනුජා ධර්මපාල)