කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (09) පස්වරුවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ අධ්‍යාපන ව්‍යුහයේ වෙනස ඇති කරන්න තවම ප්‍රමාද නැති බවයි.

රට සීඝ්‍රයෙන් දියුණු වී අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ උසස් අධ්‍යාපන ව්‍යුහයේ පුළුල් වෙනසක් බවත් ජනාධිපතිවරයා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයේ අවශ්‍යතාවලට අනුගත වී නොමැති බව නොරහසකි.දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පසුපසට ගෙන ගිය මෙම ආකල්පය මට තේරුම් ගත නොහැකියි.

ශ්‍රී ලංකාවේ සාමන්‍යයෙන් ලබාදෙන අධ්‍යාපනයෙහි සහ 21 වැනි සියවසේ අප රට සංවර්ධනයවීමට අවශ්‍ය කරන කරුණු අතර නොගැලපීමක් තිබෙනවා. විශේෂයෙන්ම, අපේ තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ විය යුතු බවට මා නිරන්තරයෙන් ඉල්ලා සිටියේ මේ නිසා. විශ්වවිද්‍යාල සිසුන් කුමන උපාධි පාඨමාලාවක් හැදැරුව ද, ඔවුන් සියලු දෙනාම අවම වශයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ යම් ප්‍රවීණතාවයක් ලබාගෙන උපාධි ලබා තිබිය යුතු බවට මම තරයේ විශ්වාස කරනවා.”

“අවම වශයෙන් ඔවුන්ට පරිගණකයක් සමග වැඩ කිරීමේ යම් අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාවත් තිබිය යුතුයs. වර්තමාන ලෝකය ජයගැනීමට අවශ්‍ය අනෙකුත් නිපුණතා ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව තිබිය යුතු තීක්ෂණ චින්තනය, ව්‍යවසායකත්වය සහ ඉංග්‍රීසි භාෂා කුසලතා ද එයට ඇතුළත්.”

“මෙම ප්‍රතිසංස්කරණවලින් කිහිපයක් දැනටමත් අපගේ විශ්වවිද්‍යාල විසින් ක්‍රියාවට නංවා ඇති අතර, ලබන වසරේ තවත් ප්‍රතිසංස්කරණයන් හඳුන්වාදීමට නියමිතයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් ඊටත් වඩා විශාල ගැටලුවක් වන්නේ එහි ඇති ධාරිතා සීමාවයි.”