govenment-strike

ඉල්ලීම් හතරක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවකයන් හෙට (08දා)  උදෑසන 8.00 සිට සේවයෙන්  ඉවත්ව සිටීමේ එක් දින වැඩවර්ජනයක් සිදුකරන බව වැටුප් වැඩි කර ගැනීමේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. මීට සමගාමීව හෙට පාර්ලිමේන්තු වටරවුම අසලදී රාජ්‍ය සේවකයන් විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත්, 

වැඩවර්ජනය සඳහා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 49ක් ඒකාබද්ධ වී සිටින බවත් එම එකමුතුවේ කමිටු සාමාජික ධම්මික මුණසිංහ මහතා පැවසීය.


මෙම ඉල්ලීම් හතර මුල් කර ගනිමින් පසුගිය 29 වැනිදා රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර පැවැත්වූ බවත්, එහෙත් බලධාරින්න අදාළ ඉල්ලීම් පිළිබඳ වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමටවත් මෙතෙක් කටයුතු කර නොමැති බවත් සඳහන් කළ ඒ මහතා, මේ නිසා දෙවැනි ක්‍රියාමාර්ගය ලෙස එක් දින වැඩවර්ජනයක් සිදුකිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙන බවත්, මීට අමතරය 08 වැනිදා සිදුකරන ක්‍රියාමාර්ගයට අනුවත් බලධාරින් ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් මෙම ඉදිරී වැඩවර්ජන ක්‍රියාමාර්ග සඳහා අර්ධ රාජ්‍ය සේවකයන්ද සම්බන්ධ කර ගැනීමටත් තීරණය කර තිබෙන බවත් පවසා සිටියේය.


රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් ඉහළ දමන ලෙස,

විශ්‍රාම යාමේ වයස් සීමාව 65 දක්වා ඉහළ  දැමීමට ගෙන තිබෙන තීරණය හකුළා ගන්නා ලෙස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අත නොතබනු ලෙස හා රාජ්‍ය සේවකයන් රටට බරක් ලෙස කළ මුදල් අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්නා ලෙස ඉල්ලා අද දින මෙම වැඩවර්ජනය සිදුකරන බවද ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.  වැඩවර්ජන ක්‍රියාමාර්ගය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම්  කාර්යාල, තැපැල් ඇතුළු රාජ්‍ය ආයතන තුළ පවතින බවද හෙතෙම පැවසීය.

 -ඉන්දික හේවාවිතාරණ-