අපේ රටේ ඈත කාලෙ දෙමළ මිනිස්සු වෙළෙදාම් කරන්න රටේ හැම තැනකම ඇවිද්දා. මේ අය බඩු විකුණුවා වගේම සමහර වෙළෙන්දෝ ධාන්‍ය වර්ග, කුරහන් එතකොට අනෙක් බෝග ආදිය ලබාගන්නත් මේ ගම්වල වෙළෙඳාමේ ගියා. මේ අයට කිව්වේ හෙට්ටියො කියලා තමයි.



ඉතින් ඔන්න එක හෙට්ටියෙක් තෙල් හිඳින තල මිලදීලා ගන්න කියලා හිතාගෙන ගොවියන්ගේ හේනකට ගියා. ඉතින් ගමරාළ තල, හේනෙ මඩුවක එක ගොඩකට ගොඩගහලා තමයි තිබුණෙ. මේ හෙට්ටියා එනවා දැකපු ගමරාළට හරියට සතුටු හිතුණා. අද නම් තල ටික විකුණලා මුදල් ටිකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතපු ගමරාළ මේ හෙට්ටියාවත් හොඳට පිළිගත්තා.

ඉතින් මේ හෙට්ටිලා නම් හරිම කපටි මිනිස්සු. ඒ අය බඩුවක් ගන්න ආපු විට කවදාවත් ගමරාළලා කියන මිලට බඩු මිලදී ගත්තේ නෑ. පුළුවන් තරම් මිල අඩු කරලා තමයි  ඒවා මිලදී ගත්තේ. ඉතින් මේ හෙට්ටියාත් තල ගොඩ ළඟට ඇවිත් තල  ටිකක් අතට අරන් බැලුවා. බලලා තල ගොඩ වටේ ඇවිද  ඇවිද තලවල නොයෙකුත් අගුණයන් කියන්න පටන් ගත්තා..  "අනේ ගමරාළ, මේ තලවල කළු ඇට වැඩියිනෙ. ටිකක්  මෝරලත් මදි වගේනෙ. ඒ නිසා ගමරාළ කියන ගණන්වලට නම් මේවා ගන්න බෑ. බලමුකො තව ටිකක්."



එහෙම කියමින් තලවල නොයෙකුත් වැරැදි කියමින් මේ හෙට්ටියා තල ගොඩ වටේ ඇවිදින්නට වුණා.  හෙට්ටියා දිහා බලාගෙන හිටිය ගමරාළට හොඳටම තරහ ගියා. ගමරාළ අන්තිමට හෙට්ටියාට බැනලා එළවා ගත්තා. මේ ලෙසට යම්කිසි පුද්ගලයකු තමන්ගේ වාසියට නිකරුනේ ඔබ මොබ සක්මන් කරනු දුටු විට අද ද "හෙට්ටියා තල මනින්නා වාගේ" කියන පිරුළ කියනු ලබනවා.