hungama-incident-cctv

මත්පැන් විකිණීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ප්‍රදේශිය සභා මන්ත්‍රීවරයෙකු හුංගම පොලීසිය තුළදී ඊයේ (18) මිය ගිය පසු මරණය සැකසහිත බවට පවසමින් පිරිසක් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය රන්න ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක ද නිරත විය.
නමුත්, සිරමැදිරියේ සිටින සැකකරු බිම ඇදවැටෙන ආකාරය කිසියම් රෝග තත්වයක්මත සිදුව ඇති අයුරක් අදාළ සීසීටීවී පරීක්ෂාවේදී හෙළිව තිබේ. ජනතාව අතර සැකය නැතිකරන්නට එම සීසීටීවී දර්ශන මාධ්‍ය වෙත යොමු කරන්නටද පොලිසිය කටයුතු කර ඇත.


අත්අඩංගුවට ගත් සැකකාර හිටපු ප්‍රදේශිය සභා මන්ත්‍රීවරයා හුංගම පොලිස් රිමාන්ඩ් භාරයේ සිටියදී එක්වරම ගසක් කඩා වැටෙන ආකාරයට බිම ඇද වැටෙන්නේ ඊට ආසන්න වෙනත් සැකකරුවෙකු හා එළියේ සිටින පොලිස් නිලධාරියෙකු කථාබහ කරමින් සිටින අතරවාරයේය.
ඔහු පොලිසියට ගෙනවිත් මද වේලාවකට පසු සිරමැදිරිය තුළ මෙම සිදුවීම සිදුවේ. ඔහු ඇද වැටුණ පසු වහාම ක්‍රියාත්මක වන නිලධාරීන් ඔහුව එලියට ගෙන වත්තන් කරගෙන රෝහල්ගත කරන්නට කටයුතු කර තිබුණි.
 රන්න රජයේ රෝහලට ඔහු ගෙන යන ලද මුත් ඒ වනවිටත් මියගොස් ඇත. පසුව මෘත දේහය හදිසි මරණ පරීක්ෂණය සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ.


මරණය හෘදයාබාධයකින් සිදුවන්නට ඇතැයි සැක කෙරේ.
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන මියගිය අය ප්‍රේමතිලක අමරවීර නමැති 62 හැවිරිදි පුද්ගලයෙකු වන අතර හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ පෝය දිනයේ මත්පැන් අලෙවි කළ බවට චෝදනා කරමිනි.
කෙසේ වෙතත් මරණය සැක සහිත බව පවසමින් ඥාතීන් රෝහල් භූමිය තුළ විරෝධය පළ කළ අතර
පසුව ඔවුන් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය රන්න ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක් පවත්වා තිබුණි.
CCTV පහතින්