kalutara-girl-abuse

උතුරු පළාත භාරව සිටි යුද හමුදාවේ විශ්‍රාමික උසස් නිලධාරියකු පානදුර ප්‍රදේශයේ නිවෙසකදී තමන් දුෂණයට ලක් කළ බව කියමින් 20 හැවිරිදි තරුණියක පානදුර දකුණ පොලිසියට පෙරේදා (13) පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.  හමුදා නිලධාරියාගේ නිවෙසේ මෙහෙකාර සේවය සඳහා ඉකුත් අගෝස්තු මාසයේදී පැමිණ සිටියදී, නිවෙසේ කවුරුත් නොමැති අවස්ථාවක අවස්ථා කිහිපයකදී තමන්ට ලිංගික අතවර කළ බව ඇය කළ පැමිණිල්ලේ සඳහන් වේ.


තමන්ගේ පියා නොමැති බවත්, සහෝදරයන් සහ මව ජීවත් කරවීම සඳහා මෙහෙකාර සේවය සඳහා පැමිණි බවත් ඇය කළ පැමිණිල්ලේ සඳහන් වේ.

එම සිද්ධියෙන් පසු ඔක්තෝබර් මාසයේදී එම නිවෙසේදී තමන්ට ක්ලාන්ත ගතියක් ඇති වී රෝගී වීමෙන් පසු හමුදා නිලධාරියා ඇතුළු නිවැසියන් තමන් පානදුර මූලික රෝහලට ඇතුළත් කළ බවත්, අනතුරුව තම මව පානදුරට ගෙන්වා තමන් නිවෙසට පිටත් කර හැරි බවත්  එම තරුණිය ප්‍රකාශයක් දෙමින් පවසා ඇත.


නිවෙසට ගිය පසු තමන්ට තද හිසේ කැක්කුමක් පැවැති බැවින්, ප්‍රතිකාර සඳහා ප්‍රදේශයේ රජයේ  රෝහලකට ගිය අවස්ථාවේදී තමන් පරික්ෂා කර බැලූ වෛද්‍යවරයා කළ ප්‍රශ්න කිරීම් හමුවේ තමන්ට හමුදා නිලධාරියා අතින් සිදු වූ ලිංගික අතවරය සම්බන්ධයෙන් වෛද්‍යවරයාට නොසඟවා පැවැසූ බව ඇය කළ ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වේ. එම තරුණිය කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන්  අදාළ වෛද්‍යවරයා විසින් ද මේ වන විට පානදුර දකුණ පොලිසිය දැනුම්වත් කර ඇතැයි දැනගන්නට ඇත.  


ඒ අනුව, පානදුර දකුණ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අදාළ තරුණිය පොලිසියට කැඳවා කළ විමසීමේදී,

ඇයට හමුදා නිලධාරියාගෙන් සිදු වූ ලිංගික අතවරය පිළිබඳව වැඩිදුරටත් ප්‍රකාශ දෙමින් පැමිණිල්ලක් කර තිබේ.  තරුණියගේ පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරීන් ද පෙරේදා (13) හමුදා නිලධාරියාගේ නිවෙසට ගොස් මෙහෙකාර තරුණිය අතවරයට පත්වූ බව කියන කාමරය ද පරීක්ෂාවට ලක් කර, සටහන් දමා ඇතැයි ද විමර්ශන නිලධාරීන්ගේ මූලික නිගමනය වී ඇත්තේ , මෙහෙකාර තරුණිය දුෂණයට ලක්ව ඇති බව යැයි ද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.


 -බිමල් ශ්‍යාමන් ජයසිංහ-