නාවික හමුදා අත්අඩංගුවේ සිටියදී තම දරුවන් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර තිබු අපරාධ චෝදනා නීතිපතිවරයා විසින් ඉවත්ව කිරීමට එරෙහිව තමන් ගොනුකර තිබූ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය ඉවත දමන ලෙස ඉල්ලා මවක ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කොට ඇත. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි සරෝජනී පෙරේරා නමැත්තිය විසින් ගොනු කරනු ලැබ ඇති මෙම විශේෂ අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් හැටියට නීතිපතිවරයා සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු පස්දෙනෙකු නම් කරනු ලැබ සිටිති. එම විශේෂ අභියාචන පෙත්සමේ මෙසේ සඳහන් වේ.
පෙත්සම්කාරිය ඇතුළු තවත් මව්වරුන් පිරිසකගේ දරුවන් 2008 සැප්තැම්බර් 17 වැනිදා අතුරුදන් විය. පසුව දැනගන්න ලැබුණේ මෙම දරුවන් නාවික හමුදා අත්අඩංගුවේ සිට ඇති බවයි. පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ නීතිපතිවරයා විසින් අපරාධ චෝදනා ගොනුකරන ලදී. තත්වය මෙසේ තිබියදී පසුගිය අගෝස්තු 8 වැනිදා නීතිපතිවරයා ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ගොනුකොට ඇති අපරාධ චෝදනා ඉවත් කරගන්නා බවයි. ඉන් පසුව පෙත්සම්කාරිය ඇතුළු මව්වරුන් පිරිසක් විසින් නීතිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබීය.
කෙසේ නමුත් එම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය පසුගිය නොවැම්බර් 10 වැනි දින පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නියෝග කළේය.
ඉන් අගතියට පත් පෙත්සම්කාරිය ඊට එරෙහිව මෙම විශේෂ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළාය. වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස ද මෙම විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට නියෝග කරන ලෙස ද අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ රීට් පෙත්සම නිෂ්ප්‍රහ කිරීමේ නියෝගය අහෝසි කොට මෙම පෙත්සමෙන් ඉල්ලා ඇති සහන ලබාදීමට නියෝග කරන ලෙස ද පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් ඉල්ලා සිටින්නීය.
-තිළිණි ද සිල්වා-
0 Comments