මිනිසුන් දෙන්නෙක් දවසක් ඈත ගමනක් ගියා. ඒ කාලයේ ඈත ගමන් යන විට ආහාර සඳහා අවශ්‍ය දේ ගෙන යාම සිරිතක් ඔවුන් සහල් හා කළමනා ගෙන ගියා. එදා ඔවුන් රාත්‍රිය ගතකිරීමට පාර අසළ කුඩා ගෙයකට ගොඩ වුණා. මේ ගෙදර සිටින ගැහැණු දෙදෙනා ඔවුන්ට පිලෙහි රාත්‍රී නවාතැන් ගැනීමට ඉඩ දුන්නා. ගෙනා හාල් ටික සෝදා ලිප තබා මහන්සිය නිසා පිළෙහි පැදුරක් දමා වැතිර ගන්නට දෙන්නා කටයුතු කළා. මේ ගෙදර වහලයේ පරාල පොල් ලී හා තල් ලී වලින් සාදා තිබුණා.
නිකමට මෙන් දෙදෙනා පරාල ගණං කරන්නට වුණා. එක් අයෙක් පොල්ලි කියන විට අනෙකා තල්ලී යයි කියුවා. මේ ගෙදර එක් ගැහැණියකගේ කටේ ඇදී ගිය දත් ඇති නිසා දැල්ලී කියාද අනෙක් ගැහැණියගේ දත් ඉදිරියට නෙරා ඇති බැවින් බොල්ලී කියාද ගමේ මිනිස්සු විහිළු කරන බව ඔවුන් දැන සිටියේ නැහැ. එම ගැහැණු දෙදෙනාට මුහුණට විහිළු කළහොත් අතට අසුවන දෙයින් පවා පහර දෙන තත්වයක් තිබුණාලු.
පොල්ලී තල්ලී යයි ආගන්තුකයා පවසන වදන් ගෙයි සිටි ගැහැණු දෙදෙනාට ඇසුණි. එම ගැහැණු සිතුවේ තමන්ට විහිළු කරන බවකි. පොලු දෙකක් රැගෙන පැමිණි ගැහැණු දෙදෙනා මිනිසුන් දෙදෙනාට තලන්නට විය. බත දමා ගියොත් ඊට බඩගින්නේ සිටීමට සිදුවේයයි සිතු එක් අයකු ඉදෙමින් පවතින හාල් අමුඩයට හලාගෙන දුවන්නට විය. බතේ වතුර කකුල් දෙකින් බේරෙන්නට විය.
මඟ සිටි අය දුවන මිනිසුන් දෙදෙනාගෙන් කකුල් දෙකේ බේරෙන්නේ මොනවාදැයි ඇසූවාලු. කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා යයි කියමින් මේ දෙන්නා දිව ගියාලු.
කට හසුරුවා නොගැනීම හේතුවෙන් ලජ්ජා විඳීමට සිදුවන අයට මෙම ප්‍රස්ථාව පිරුළ යෙදෙන්නේ ඉන් පසුවයි.
0 Comments