පොටෑසියම් පර් ක්ලෝරයිඩ් නැමැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25 ක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළට ඇතුළුවීමට තැත් කළ ගුවන් තොටුපොළ කුලී රථ රියැදුරෙක් සහ වෑන් රථයක් ඉකුත් 3 වැනිදා සවස 06.00 ට කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවටගනු ලැබ සිටී.
මීගමුව, උතුරු කදිරාන, වෑබිම ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි රියැදුරකු ඉකුත් 3 වැනිදා 06.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇතුළු වීම සඳහා, ගුවන් තොටුපළ කුලී රථ සඳහාම වෙන්වූ ජී. - 37 දරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් පවත්වා ගෙන යනු ලබන පරික්ෂණ මුර පොළ වෙත පැමිණ තිබේ.
එහිදී සිදු කළ පරීක්ෂා කිරීම් වලදී, මෙම වෑන් රථය තුළ තිබී, මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබුණි. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම රියැදුරු සහ වෑන් රථය ද, පුපුරණ ද්‍රව්‍ය තොගය ද කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත බාර දී තිබේ. මෙම වෑන් රථයේ හිමිකරු කිඹුලපිටිය ප්‍රදේශයේ රතිඤ්ඤා නිෂ්පාදන කටයුතු වල යෙදී සිටින ව්‍යාපාරිකයකු බවත්, බලපත්‍ර මත රතිඤ්ඤා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය වර්ග තුනක්, මෙම වෑන් රථය මගින් රතිඤ්ඤා නිෂ්පාදනාගාරය වෙත ගෙන ආ බවත්, ඒ අතර කටුනායක ගුවන් තොටුපොළ කුලී රථයට හිමි ගමන් වාරය ආසන්න වීම නිසා,
තමන් කඩිනමින් මෙම වෑන් රථය, ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට කටයුතු කළ බවත් මේ සම්බන්ධයෙන් රියැදුරා ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි. එහිදී අතපසුවීමකින් මෙම පොටෑසියම් පර් ක්ලෝරයිඩ් තොගය, මෙම වෑන් රථයෙන් බා ගැනීමට අමතක වී ඇති බවත්, අනෙක් පුපුරණ ද්‍රව්‍ය වර්ග දෙක ඒ වන විටත් රතිඤ්ඤා නිෂ්පාදනාගාරය තුළට ගොඩ බා ඇති බවත්, එම රියැදුරු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
-ටී.කේ.පී.කපිල-
0 Comments