නීතිවිරෝධී මත්පැන් විකිණීම පිළිබඳ පොලීසියට ඔත්තු ලබාදුන් බවට උරණ වී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනාවන්ට එකම පවුලේ තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණයෙන් ලබා දුන් මරණ දඩුවම අභියාචනාධිකරණය විසින්ද අනුමත කරන ලදී. මීට වසර 06කට පෙර පොල්ගහවෙල ප්‍රදේශයේදී තමන්ගේම ඥාති පුතෙකු ඝාතනය කර ඔහුගේ පියාට බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනාවන්ට වැරැදිකරුව මරණීය දඬුවම් නියම වූ තිදෙන්නෙකු ඉදිරිපත් කළ අභියාචනා නිත කරමින් ඔවුන්ට දුන් දඩුවම් මෙලෙස අනුමත කළේය.
කුරුණෑගල මහාධිකරණ විනිසුරු වශයෙන් කටයුතු කළ මේනකා විජේසුන්දර මෙනවිය දුන් තීන්දුව අනුමත කරමින් මෙලෙස මරණ දඬුවම තහවුරු කරන ලද්දේ පොල්ගහවෙල, පොහොරවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන පී.ඩී. ඩග්ලස් වික්‍රමසිංහ, පී.ඩී. සෙනරත් සමරසිංහ සහ පී.ඩී. ප්‍රදීප් සංජීව ජයරත්න යන එකම පවුලේ තිදෙනෙකුටය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් යන මහත්වරු මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ.
2005 වසරේ අප්‍රේල් 11වැනිදා හෝ ඊට ආසන්න දිනයක පොල්ගහවෙල, පොහොරවත්ත ප්‍රදේශයේදී නිශ්ශංක විජේවීර නමැත්තාගේ ගෙල හිසින් වෙන්වන ලෙස කපා, ශරීරයේ ස්ථාන 17ක් කපා කොටා තුවාල කර ඔහුගේ පියාට පහරදී බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටත්තේ විත්තිකරුවන් සිවුදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරා තිබිණි. කුරුණගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය එම නඩුව විභාග කිරීමෙන් අනතුරුව 2019 වසරේ ඔක්තෝබර් මස 02 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එක් විත්තිකරුවෙකුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් ඔප්පු කර නොමැති බව තීන්දු කරමින් එක් විත්තිකරුවෙකු නිදහස් කළ අතර, සෙසු විත්තිකරුවන් තිදෙනාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කරමින් ඔවුන් තිදෙනාට මරණ දඬුවම නියම කළාය.
පසුව විත්තිකරුවන් මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනා ඉදිරිපත් කරමින්, කුරුණෑගල මහාධිකරණය ලබාදුන් තීන්දුව ඉවත දමා සියලු දෙනා නිදහස් කරන්නැයි ඉල්ලා සිටියහ. එම අභියාචනා විභාගයේදී නීතිපතිවරයා නියෝජනය කරමින් වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නේ නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන බවට පොලීසියට පැමිණිලි කිරීම හේතුවෙන් උරණ වී පෙත්සම්කරුවන් මෙම අපරාධය සිදු කර ඇති බවයි.
මහාධිකරණයේදී ඉදිරිපත් වූ සාක්කි මත පදනම්ව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව තීන්දු කරමින් විනිසුරුවරිය මෙම තීන්දුව ලබා දී ඇති බවත්, එම තීන්දුවේ දෝෂ ඇති බව පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් පෙන්වා දී නොමැති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙත්සම් විභාගයේදී පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ විභාගයෙන් අනතුරුව විත්තිකරුවන්ට කුරුණෑගල මහාධිකරණයෙන් දුන් තීන්දුව තහවුරු කරමින් විත්තිකරුවන්ගේ අභියාචනා අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කළේය.
-බුද්ධිමාල් රුබේරු-
0 Comments