අවිස්සාවේල්ල තල්දූව නාපාවල ප්‍රදේශයේ තරුණයකුට වෙඩි තබා ඝාතනය කර මළසිරුර හොර රහසේ වළදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවකු වන "මන්නා රමේෂ්” නමැත්තා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
ඉකුත් 16 වැනි දින මන්නා රමේෂ්ගේ නිවසේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවත්, මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ නාපාවල පංදිංචි මාලන් නමැති 25 හැවිරිදි තරුණයෙක් බවත් විශේෂ කාර්ය බළකාය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරක් අනුව විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක 2 හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරික්ෂණ පවත්වා සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මනා රමේෂ් නමැත්තා වෑන් රථයකින් පලායමින් සිටියදී තල්දූව ගුරුගල්ල ප්‍රදේශයේදී පෙරේදා (19) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු මෙම සිද්ධියට හවුල් වූ නිවසේ මෙහෙකරු හා තරුණයාගේ ඝාතනය වසන් කළ තරුණයාගේ මිතුරකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. මන්නා රමේෂ් නැමැත්තා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පුද්ගලයන් බියගන්වමින්, කප්පම් ගැනීම්, මත්කුඩු, අයිස්, ගිනි අවි ජාවාරම් ඇතුළු ජාවාරම්වල නිරත වූ සංවිධානාත්මක අපරාධකරුවකු බවත්, ඉහත ජාවාරම් සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකාය හා අවිස්සාවේල්ල පොලිසිය අවස්ථා කිහිපයදීම ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත සිටින පුද්ගලයකු බවත් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
ඝාතනය කළ තරුණයා සමග මන්නා රමේෂ් නමැත්තා පෞද්ගලික ආරවුල් ඇති බවත් සිද්ධිය වූ ඉකුත් 16 වැනි දින මන්නා රමේෂ් නමැත්තා ඔහුගේ නිවසේ පැවැත්වෙන මත්පැන් සාදයක් සඳහා මෙම තරුණයාට ඇරයුම් කර ඇති බවත් විශේෂ කාර්ය බළකාය ආරංචි මාර්ග පවසයි. එම ඇරයුම අනුව තරුණයා ඔහුගේ මිතුරු තරුණයකු ද සමග එදින සවස මන්නා රමේෂ් නමැත්තාගේ නිවසට ගොස් යතුරු පැදියෙන් බහින අවස්ථාවේ දී මන්නාරමේ රිපීටර් වර්ගයේ ගිනි අවියකින් තරුණයාගේ පපු ප්‍රදේශයට වෙඩි තබා ඇති බවද විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග කියයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා පැය දෙකක පමණ කාලයක් බිම වැටී කෙඳිරිගාමින් සිට ඇති බවත්, සැකකාර මන්නා රමේෂ් ඇතුළු පිරිස තරුණයා බිම වැටී කෙදිරි ගාමින් සිටි ස්ථානයේම මත්පැන් සාදය පවත්වා ඇති බවත් විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග කියයි.
පැය දෙකක් පමණ කාලයක් වේදනාවෙන් දඟලමින්, කෙඳිරි ගාමින් සිටි තරුණයා රාත්‍රියේ එම ස්ථානයේදීම මියගොස් ඇති බවද කියති.
තරුණයා සමග යතුරු පැදියෙන් පැමිණි අනෙක් තරුණයාද සැකකරුවන් විසින් ඝාතනය කිරීමට සැලසුම් කර පසුව එයට අතහැර දමා ඔහු ලවාම තරුණයාගේ මළ සිරුර වළ දැමීම සිදුකර ඇති බවද විශේෂ කාර්ය බලකාය කියයි. මන්නා රමේෂ් නමැත්තාගේ නිවසේ සිටි මෙහෙකරු ලවා මියගිය තරුණයාගේ ඇඳුම් හා තොප්පිය පුළුස්සා දමා ඇති බව ද කියති. නිවසේ මෙහෙකරු සහ ඝාතනයට ලක් වූ තරුණයාගේ මිතුරා එක්ව රාත්‍රියේ මියගිය තරුණයාගේ මළ සිරුර වෑන් රථයක දමාගෙන රැගෙන ගොස් කිරිඳිවැල පොලිස් වසමේ මීතිරිගල නිස්සරණ වනයේ වළ දමා ඇති බවද පොලිසිය කියයි.
තරුණයා ඝාතනය සඳහා යොදාගත් රිපීටර් වර්ගයේ ගිනි අවිය හා පතුරම් ප්‍රධාන සැකකරු වන මන්නා රමේෂ්ගේ නිවස පිටුපස වළ දමා තිබියදී සොයාගෙන ඇත. විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ, විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක 2 හි ස්ථානාධිපති පොලිස් පරික්ෂක සී.ආර්. පාරමුල්ලගේ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරික්ෂණ සඳහා අවිස්සාවේල්ල පොලිසියට බාර දී ඇත. තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය අධිකරණයට ඊයේ (20) කරුණු වාර්තා කර ඇති අතර මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද (21) තරුණයාගේ මළසිරුර ගොඩගැනීමට නියමිතය.
-ඉන්දිකා රාමනායක-
0 Comments