මරදාන ප්රදේශයේ පිහිටා ඇති කාන්තා නේවාසිකාගාරයකට රාත්රී කාලයේ ඇතුළුවීමට උත්සාහ දැරූ තරුණයෙකු එහි ආරක්ෂක නිලධාරියාගේ ඇසට ලක්වීමෙන් පසු පළායන්නට උත්සාහ දැරීමේදී ඇදවැටී මියයාමේ සිදුවීමක් ඊයේ වාර්තා විය.
එස් මහින්ද මාවතේ පිහිටි මෙම නේවාසිකාගාරය සිවුමහල් ගොඩනැගිල්ලක් වූ අතර ඊට යාබද ඉඩමෙහි පිහිටි ගොඩනැගිල්ලෙන් පැන මෙම තරුණයා නේවාසිකාගාරයේ බැල්කනිය දිගේ ඇවිද ගිය බව කියැවේ.
අනතුරුව කාන්තාවන් සිටින කාමර සොයමින් ඔහු එහි කොරිඩෝරයකට ඇතුළුව ඇති අවස්ථාවේ ඇවිද යන අයකු ගැන සැක සිතුණ නේවාසික කාන්තාවක සොරෙකු පැමිණ ඇති බවට ආරක්ෂක නිලධාරියා දැනුවත් කර තිබේ.
එම අවස්ථාවේ විදුලි පන්දමද රැගෙන සැකසහිත ස්ථානය නිරීක්ෂණය කිරීමට ආරක්ෂක නිලධාරියා පැමිණ තිබෙන අතර ඔහුව දැක කලබලයට පත් තරුණයා දිවගිය බවද පසුව ඔහු පෙනෙන්නට නොවූ බවද වාර්තා විය. පසුව පරීක්ෂා කිරීමේදී හඳුනාගෙන ඇත්තේ බැල්කනියේ කෙළවරින් පහළ අනතුරුදායක ස්ථානයක ඔහුගේ මළ සිරුර තිබී ඇති අයුරුය. මෙම තරුණයා එක්වරම පැන ඇත්තේ කොන්ක්රීට් තට්ටුවක් ඇති ස්ථානයකට නිසා ඔහුගේ හිසට බරපතල හානි සිදුවීමෙන් මරණයට පත්ව ඇතැයි සැක කෙරේ.
කාන්තා නේවාසිකාගාරයකට හොර රහසේ ඇතුළු වීමට ගොස් මියගිය පුද්ගලයා එරාවුර් ප්රදේශයේ පදිංචි තිස් හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි. ඔහු ඊට යාබද ව්යාපාරික ස්ථානයක සේවය කරමින් සිටි බවද දැනගන්නට ලැබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදු සිදුකිරීමට නියමිතය.
0 Comments