ඉතින්! ඔන්න කැලයක් තිබුණා. මේ කැලේ අනෙක් සත්තු වගේම වදුරොත් උන්නා. මේ වදුරන් ඉතින් හරිම කලබලකාරයොනෙ. එයාලා ගහෙන් ගහට පනිමින්, ගස්වල කොළ, දළු, ගෙඩි ආදිය කකා උන්නා.. ඔය අතර ඒ කැලයේ මිනිසුන් කිහිපදෙනෙක් කැලේ ගසක් කපලා එය ඉරමින් උන්නා. ඔවුන් දංඩියමක් හදලා ඒක උඩ කොටය කියලා තමයි ඒ කොටය කියතෙන් ඉරුවේ. ඉතින් මෙහෙම කොටය ඉරන විට ඉක්මනට, පහසුවෙන් ලී ඉරන්න පුළුවන් වෙන්න කලේ ඉරුම් පැල්ලමට ඒ කිව්වේ, ඉරමින් ඉන්නා කොටේ මඳක් දුරට ඉරලා ඒ අතරට කූඤ්ඤ ගහනවා. ඉතින් මේ මිනිසුන් මේ ලී ඉරන දිහා එක් සතෙක් ගහකට නැගලා බලාගෙන උන්නා. ඒ කවුද දන්නවද?
වඳුරෙක්. මේ වඳුරා හරිම හිතුවක්කාර, දඩම්බර, තරුණ වඳුරෙක්. මේ වඳුරා මිනිසුන් කරන හැමදෙයක්ම ඉතා ඕනකමින් තමයි බලාගෙන උන්නේ. ඔන්න ඉතින් මේ මිනිස්සු දංඩියම උඩ තියලා ඉරපු කොටේ බාගයක් ඉරලා එතනට පෙර පරිදිම කුඤ්ඤය ගහලා කෑම කන්න ඕනෙ නිසා දංඩියෙන් බැස්සා. දංඩියමෙන් බැහැලා අසල තිබුණු දොළක් ළඟට ගියා බත් කෑමට. මේ මිනිසුන් ගියාට පස්සේ අර වඳුරා හිමින් සැරේ දංඩියම උඩට නැග්ගා. නැගලා ඉතා ඕනෑකමින් ඒකෙ උඩ ඇවිදිමින් ඒ ලී කොටය දිහා බැලුවා. ඌ එහෙම බලලා ආයෙත් බිමට බැස්සා. බැහැලා ලී ඉරපු කියතත් අතගාලා බැලුවා.
ඉන්පස්සෙ වඳුරා ආයෙත් දංඩියම උඩට නැග්ගා. නැගලා අර බාගෙට ඉරපු කොටේ බාගෙට ඉරලා කුඤ්ඤය ගහලා තිබුණු පැත්තේ ඉඳගත්තා. ඉඳගෙන කොටේ ඉරුම් පැල්ලම දිහා හොඳින් බැලුවා. ඒක නෙවෙයි, මේ වඳුරා කොටේ ඉරුම් පැල්ලම උඩනෙ ඉඳගත්තේ. ඒ ඉඳගත් විට උගේ නැට්ට මේ ඉරුම් පැල්ලම මැදට ගියා. ඉතින් ඔහොම ඉඳන් හිටපු වඳුරා එක පාරටම අර කොට්ට ගහලා තිබුණු කූඤ්ඤය ඇදලා ගැලෙව්වා.
එතකොටම ඈත්වෙලා තිබුණු ඉරුම් පැල්ලම එකට තදවුණා. එතකොටම වඳුරාගෙ නැට්ටත් හිරවුණා. හරිම කරදරේක වදුරා වැටුණේ. අන්තිමට නැට්ට හිරවෙච්ච ගමන් ඒකෙන් වේදනා විඳපු වඳුරා දඟලලා දඟලලාම කොටේ උඩම මැරුණා.
ඉතින් දුවේ පුතේ, තමන්ට අයිති නැති වැඩ කරන්න ගොස් අමාරුවේ වැටුණු කෙනෙක් දුටුවිට අද ද "අයිති නැති දේ කරන්ට ගිය වඳුරා වාගෙයි කියන පිරුළ කියනවා.
0 Comments