nilaveli-deaths

නිලාවේලි මුහුදට බැස ඇවිදිමින් සිටිය දී දිය වැලකට අසු වී ගසාගෙන ගිය පාසල්  සිසුන් දෙදෙනකු පෙරේදා (04) පස්වරුවේ දියේ ගිලි මියගොස් ඇතැයි කුච්චවේලි පොලිසිය කියයි.   

මෙලෙස මියගියේ කුච්චවේලි, ඉරික්කණ්ඩි වාලයුත්තු පදිංචිකරුවන් වන අබ්දුල් රහුමාන් අර්හාන් (14) හා උවයිස් මොහොමඩ් සහීර් (13) යන දෙදෙනාය. මියගිය සිසුන් දෙදෙනා නුවර සිට පැමිණ ඥාතීන් පිරිසක් සමග මුහුදට බැස ඇති අතර ඔවුන් දෙදෙනා දියඹ දෙසට ගමන් කරද්දී දියවැලකට අසුව ගසා ගෙන ගොස් ඇතැයි කුච්චවේලි පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.


අනතුරුව අවට සිටි පිරිස් සිසුන් 6 දෙදෙනා බේරාගෙන නිලාවේලි ප්‍රාදේශීය  රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වනවිටත්  ඔවුන් මියගොස් සිටි බවට හෙළි වී යැයි පොලිසිය කියයි.  මියගිය සිසුන් දෙදෙනාගේ මව්වරුන් එකම පවුලේ අක්කා නගෝ බවත් එක් සිසුවෙකුගේ මියගිය වැඩිමහල් සොහොයුරෙකුගේ පුණ්‍ය කටයුත්තකට  සහභාගි වීම සඳහා මෙම ඥාති පිරිස පැමිණ නිලාවේලි වෙරළට ගොස් ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි. 

මියගිය සිසුන් දෙදෙනා සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය නිලාවේලි  රෝහලේ දී කුච්චවේලි හදිසි මරණ පරික්ෂක අබ්දුල් මුතාලිප් නයිම් මහතාගේ  මූලිකත්වයෙන් සිදු වූ අතර ඉදිරිපත් වූ  කරුණු සැලකිල්ලට ගෙන මෙය දියේ ගිලී හුස්ම හිර වී සිදු වූ මරණයක් බවට නිගමනය කළේය. සාක්කි සටහන් කර ගැනීම පසුවට කල්තැබූ හදිසි මරණ පරික්ෂකවරයා විවෘත තීන්දුවක් ලබාදෙමින් මෘත දේහ ඥාතීන්ට බාරදෙන ලෙස පොලිසියට නියම කළේය.


 අමදෝරු අමරජීව