දහනව හැවිරිදි තරුණියකට විවාහ යෝජනාවක් කර ඇයට තර්ජනය කර බලහත්කාරයෙන් විවාහ කරගැනීමට උත්සාහ කළ බව කියන 61 හැවිරිදි විවාහකයකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි. සැකකරු තරුණියගේ ඥාතියකු බවද පොලිසිය සඳහන් කරයි. මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරුගේ බිරිඳ මිය ගොස් ඇති බවත් 19 හැවිරිදි තරුණියට වඩා වැඩිමහල් දරුවන් ඔහුට සිටින බවත් පොලිසිය සඳහන් කරයි. සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක රියැදුරකු වශයෙන් සේවය කරන බවත්,
දැරියගේ හිඹුටානේ පිහිටි නිවස ආසන්නයේ ඔහු නැවතී සිට ඇති බවද පොලිසිය පවසයි. තරුණියගේ පියා මියගොස් ඇති බවත් ඇයට වයස අවුරුදු 14 සිට මෙම සැකකරු ඔහුගේ ත්‍රිරෝද රථයෙන් ඇය පාසල් රැගෙන යාම පන්ති රැගෙන යාම වැනි කටයුතු කර ඇති බවද කියති.
සැකකරු තරුණියට ආදර යෝජනා කළ SMS පණිවිඩ රැසක්ම ජංගම දුරකතනයේ තිබී මෙම තරුණියට කුඩා කාලයේදී සැකකරුගෙන් හිරිහැර සිදුව ඇති බවත්, ඇයට ඒ සම්බන්ධයෙන් හරි හැටි වැටහීමක් නොමැති නිසා..කිසිවකුටත් ඒ සම්බන්ධයෙන් කීමට හැකියාවක් ලැබී නැති බවද පොලිසිය කියයි. තරුණියගේ මවද අසනීප තත්වයෙන් පසුවන හෙයින් ඇයට ද ඒ සම්බන්ධයෙන් හරි හැටි වැටහීමක් තිබී නැති බවද පොලිසිය සඳහන් කරයි. පසුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් මෙම තරුණිය විශ්වවිද්‍යාලයට කැඳවන තෙක් ආයතනයක රැකියාවට ගොස් ඇති බවත් එහි මිතුරියක ඇය මෙම සියලු හිරිහැර පවසා ඇතැයිද පොලිසිය කියයි.
සැකකරු තරුණිය රැකියා කරන ස්ථානයට ගොස් එහි සේවකයන් ඉදිරියෙහි පහරදී තර්ජනය කර ඇතැයිද තමාගේ කීමට අවනත නොවන්නේ නම් බලහක්කාරයෙන් රැගෙන යන බවටද සැකකරු තරුණියට තර්ජනය කර ඇත.
එම සිද්ධියෙන් බියට පත් තරුණිය ඇයගේ මිතුරියගේ උපදෙස් අනුව ඉකුත් (23) වැනිදා මුල්ලේරියාව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. තරුණිය පොලිසියට ගිය බවට ආරංචි වූ සැකකරු පොලිසියේ දී තරුණියගේ ජංගම දුරකතනයට කතා කර, ඇය පොලීසි යෑම සම්බන්ධයෙන් බැන වැදී ඇති අතර, පොලිසියට ගිය ද මා කෙසේ හෝ ඇය පැහැරගෙන රැගෙන යන බවද තර්ජනය කර ඇත. මුල්ලේරියාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් ඉදිරියේ ජංගම දුරකතනයේ ස්පිකර් ක්‍රියාත්මක කළ තරුණිය එම තර්ජන පොලිස් නිලධාරින්ට ද ඇසීමට සලස්වා ඇත. මෙම පැමිණිල්ල අනුව පොලිස් නිලධාරින් සැකකරුට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දුන්නද ඔහු දින කිහිපයක්ම පොලිසිය මග හැර ඇත.
පසුව විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහු රාජකාරි කරන වැල්ලම්පිටියේ විහාරස්ථානය ආසන්නයට ගොස් සැකකරු උපක්රමශීලීව පිටතට ගෙන්වාගෙන අත්අඩංගුවට ගෙන ඇත.
මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත මහතා සැකකරු අමතා තමාගේ දරුවෙකුටත් වඩා බාල තරුණියකට විවාහ යෝජනා කිරීම, ඇයට තර්ජනය කිරීම, දරුවන්ටත් වඩා වයසින් බාල තරුණියකට ආදර කෙටි පණිවිඩ එවීම වැනි ක්‍රියාවන්වල නිරතවීම සම්බන්ධයෙන් සැකකරුට දැඩි ලෙස අවවාද කළ බවත් පොලිසිය කියයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
-ඉන්දිකා රාමනායක-
0 Comments